modara-kasun-assassination-plot-foiled-suspect-arrested-with-t-56-weapon


සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'මෝදර කසුන්' ඝාතනය කිරීමේ අරමුණින් වව්නියාවේ සිට රැගෙන ආ ටී-56 ගිනි අවියක් සමඟ සැකකරුවෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඩුබායිහි සැඟවී සිටින 'මිල්ක්' හෙවත් ප්‍රවීන් නැමැති අපරාධකරුගේ මෙහෙයවීමෙන් මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.



ඉකුත් 20 වන දා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සතුව තිබී ටී-56 ගිනි අවියක්, උණ්ඩ 30ක්,

පතොරම් ගැබක් සහ 'අයිස්' මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5650ක් සොයාගෙන ඇත. වව්නියාවේ සිට බස් රථයකින් මෙම අවිය රැගෙන ඒම සඳහා තමන්ට රුපියල් ලක්ෂයක මුදලක් ලැබුණු බව සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.

ඔහුගෙන් ලද තොරතුරු මත ක්‍රියාත්මක වූ පොලිසිය, ඉකුත් 22 වන දා වව්නියාව, සෙට්ටිකුලම් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්බෝම්බ 86ක් සහ උණ්ඩ තොගයක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එමෙන්ම, ඝාතනය සඳහා ගෙන ආ ගිනි අවිය භාර ගැනීමට නියමිතව සිටි පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු දෙමටගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ.



මෙම ඝාතන උත්සාහයට හේතුව පාතාල කල්ලි අතර ගැටුමක් නොව, 'මෝදර කසුන්'ගේ මිතුරෙකු සහ වෙනත් පාර්ශ්වයක් අතර කාන්තා සම්බන්ධයක් මත මීට සති කිහිපයකට පෙර ඇතිවූ පෞද්ගලික ආරවුලක් බවට පොලිසිය සැක කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.