
රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් අයථා ලෙස උපයාගත් බවට චෝදනා එල්ල වී සිටින යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහි නඩුව ලබන සැප්තැම්බර් මස 22 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය ඊයේ (28) නියෝග කළේය.
නඩුවට අදාළව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති වෝහාරික විගණන වාර්තාවක් සැකසීමට යොදාගත් පරිගණක සහ ඒ ආශ්‍රිත උපකරණ පරීක්ෂා කිරීමට අවසර දෙන ලෙස විත්තිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා මෙම නියෝගය නිකුත් කළේය.
මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී, යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා, පැමිණිල්ලේ සාක්ෂියක් වන ඉහත කී විගණන වාර්තාව සකස් කිරීමට පදනම් වූ ඊ-මේල් පණිවුඩ අඩංගු සංයුක්ත තැටි 26ක් සහ පරිගණක උපාංග පරීක්ෂා කිරීමට තම සේවාදායක පාර්ශවයට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විරුද්ධත්වයක් නොදැක්වූ අතර, ඒ අනුව ඉල්ලීමට අවසර දුන් විනිසුරුවරයා නඩුව නැවත කැඳවන දිනය නියම කළේය. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval