
නීතිවිරෝධී ලෙස උපයාගත් බවට සැකකෙරෙන මුදලින් රුපියල් කෝටි තුනහමාරක් වටිනා සුඛෝභෝගී නිවසක් ඉදිකරමින් සිටි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පර්චස් 8.67 ක ඉඩමක ඉදිවෙමින් පැවති මෙම දෙමහල් නිවස සහ දේපළ මේ වනවිට තහනමකට ලක් කිරීමට පියවර ගෙන ඇත. අදාළ නිවස අඩි 15ක් පමණ උසැති දැවැන්ත තාප්පයකින් වටකර තිබීම විශේෂත්වයකි.
කිසිදු නීත්‍යානුකූල රැකියාවක නිරත නොවන මෙම කාන්තාව, නීති විරෝධී ක්‍රියාකාරකම් මගින් මෙම විශාල වත්කම උපයාගෙන ඇති බවට 2023 වසරේදී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට රහසිගත තොරතුරක් ලැබී තිබුණි. එම තොරතුර මත පදනම්ව සිදුකළ දීර්ඝ විමර්ශන ක්‍රියාවලියකින් අනතුරුව බෝකුන්දර, පාසල් මාවතේ පිහිටි මෙම දේපළ සම්බන්ධයෙන් සැකකාරිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
මෙම කාන්තාව, විදේශයක සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙරට මෙහෙයුම් හා සම්බන්ධ බවට විමර්ශන වලදී තොරතුරු හෙළිවී තිබේ. ජාවාරම්කරුගේ අනුගාමිකයන් විසින් සපයන මත්ද්‍රව්‍ය, කිරුලපන සහ වැල්ලවත්ත ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් බෙදාහැරීමේ ජාවාරම මෙම කාන්තාව විසින් සිදුකර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත. මෙම හෙළිදරව්වෙන් පසුව, 2024 වසරේදී ඇයට එරෙහිව විදේශ ගමන් තහනමක් ද අධිකරණයෙන් ලබාගෙන තිබුණි.
මෙම විමර්ශන කඩිනම් කරමින්, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී රුවන් කාන්ත මහතා විසින් පළමුව දින හතක තහනම් නියෝගයක් මෙම දේපළ සඳහා ලබාගන්නා ලදී. පසුව, හෝමාගම අධිකරණයට කරුණු දක්වා එම තහනම මාස තුනක කාලයක් සඳහා දීර්ඝ කර ගැනීමට පොලීසිය සමත්විය.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම තිස්හය හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත. පසුව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා විසින් රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇයව මුදා හැරීමට නියෝග කළේය. එමෙන්ම, ඇයට පනවා තිබූ විදේශ ගමන් තහනම තවදුරටත් දීර්ඝ කිරීමටද නියෝග කෙරිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval