ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පසුගියදා (29) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය සී.බී. රත්නායක මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගුරුවරුන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් දැඩි ලෙස විවේචනය කළේය. ගුරුවරුන්ට දුරකතන කෙටි පණිවුඩයක්වත් යවාගත නොහැකි බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය, දෙවියන් ලෙස සලකනු ලබන ගුරු වෘත්තිය ඉතා පහත් තත්ත්වයකට හෙළීමක් බව රත්නායක මහතා පෙන්වා දුන්නේය.
දෙමාපියන්ට පසුව ගෞරවයට පාත්‍රවන සහ "ගුරු දෙවිවරුන්" ලෙස සමාජයේ පිළිගැනීමට ලක්වන ගුරුවරුන්ට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය බලවත් අපහාසයක් බව ඒ මහතා සඳහන් කළේය. නවීන තාක්ෂණය පිළිබඳව ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති පසුබිමක, ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් කිරීම කණගාටුවට කරුණක් බවද හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේය.
රටේ ආර්ථික කළමනාකරණය පිළිබඳවද අදහස් දැක්වූ රත්නායක මහතා, ගෝලීය ආර්ථික ක්‍රමය තුළ ඇතිවිය හැකි යහපත් හා අයහපත් තත්ත්වයන් කළමනාකරණය කරගැනීම පාලකයන් සතු වගකීමක් බව පැවසීය. ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමේ වගකීම නිසි ලෙස ඉටුකළ යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කරමින් ඔහු සඳහන් කළේ සෙවනගල ගොවීන් මේ වනවිට උද්ඝෝෂණ ආරම්භ කර ඇති බවයි. ගොවීන් විරෝධතාවල නිරතවීම ආර්ථිකය කඩාවැටීමට හේතුවක් ලෙස වත්මන් අමාත්‍යවරුන් ප්‍රකාශ කළද,
2020 වන විට 'පොහොට්ටු' ආණ්ඩුව ගොවියා සහ කම්කරුවා රැකගනිමින් රට පාලනය කළ බවද ඔහු සිහිපත් කළේය.
වැට් බදු ප්‍රතිපත්තිය හේතුවෙන් දේශීය කර්මාන්තකරුවන්ට දැඩි පීඩනයක් එල්ලවී ඇති බවත්, හාල් සහ ලුණු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා විදෙස් රටවලින් ආනයනය කිරීමේ න්‍යායක් මත මෙම වාමාංශික දේශපාලනය බලයට පත් වූයේද යන්න පිළිබඳව ජනතාව තුළ ගැටලුවක් මතු වී ඇති බවත් හිටපු අමාත්‍ය සී.බී. රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය. මෙවැනි තත්ත්වයක් මෙරට ජනතාව කිසිසේත්ම අපේක්ෂා නොකළ බවද ඔහු අවසාන වශයෙන් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval