is-there-a-second-hand-market-for-electric-vehicles

 සෙකන්ඩ් හෑන්ඩ් විදුලි වාහනයක් මිලදී ගන්නවාද යන්න ගැන බොහෝ දෙනෙකුගෙන් විමසුවොත්, ඔවුහු ඒ ගැන උනන්දුවක් නොදක්වති. සමහරු ඇස් පෙරළමින් එවැනි අවදානමක් ගැනීමට අකමැති බව පවසති. නමුත් ස්වල්ප දෙනෙක් දැනටමත් එවැනි වාහනයක් මිලදී ගෙන ඇති අතර, එයින් ඔවුන් සෑහීමකට පත්ව ඇති බවත් කියා තිබේ.



මෝ‍ටර් රථ විශේෂඥයින්ගේ මතය අනුව සෙකන්ඩ් හෑන්ඩ් විදුලි වාහනයක් මිලදී ගැනීම, සෙකන්ඩ් හෑන්ඩ් දහන එන්ජිමක් සහිත වාහනයක් මිලදී ගැනීමට වඩා අවදානම අඩුය. මන්ද වැරදීමට හැකි දේවල් බොහෝ දුරට අඩු නිසාය. විදුලි වාහන ධාවන යාන්ත්‍රණයක චලිත කොටස් 20ක් පමණ ඇති අතර, පෙට්‍රල් හෝ ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන වාහනයක කොටස් 200කට වඩා ඇත. ක්ලච්, ගියර්බොක්ස් පාලන ඒකක, ඉන්ධන පොම්ප, පිටවන වායු ප්‍රතිසංසරණ කපාට... දහන එන්ජිම් සහිත වාහනවල වැරදීමට හැකි දේවල් ලැයිස්තුව අනන්ත වන්නට පුළුවන. මේ අතර, විවිධ අධ්‍යයනවලින් පෙන්නුම් කරන්නේ විදුලි වාහන, දහන වාහනවලට වඩා අඩුවෙන් කැඩී බිඳී යන බවයි.



විදුලි වාහනයක සේවා කිරීම යනු කුටි පෙරහන මාරු කිරීම, වසර තුනකට වරක් තිරිංග ද්‍රාවය මාරු කිරීම සහ ටයර වල පාවිච්චිය එක සේ සිදු කිරීමට ඒවා කරකවා සවි කිරීම ආදියයි. සත්තකින්ම ඒවායේ බරපතලකම එපමණකි, මන්ද විදුලි වාහනවල ඝර්ෂණය මත පදනම් වූ කොටස් ඉතා අල්පයක් ඇති නිසා සේවාවන් සැපයීමට අවශ්‍ය වන්නේ කෙටි හා සරල ආකාරයකිනි.

විදුලි වාහනයක් යාන්ත්‍රිකව කොතරම් සරල ද යන්න ඔබ තේරුම් ගත් විට, සෙකන්ඩ් හෑන්ඩ් මිලට ගැන්මේ සැකය නැතිවනු ඇත. මෙම වාහනවල ප්‍රධාන දෙය නම් බැටරියයි. මෙය සෙකන්ඩ් හෑන්ඩ් විදුලි වාහන මිලදී ගන්නන්ගේ විශාලතම කනස්සල්ලයි. නමුත් දැන් අපට ලොව පුරා විදුලි වාහන ගැන බිලියන ගණන් සංඛ්‍යා ලේඛන තිබෙන අතර ඒවායේ ලිතියම්-අයන් බැටරි වල අසාර්ථක වීමේ අනුපාතය ඇත්ත වශයෙන්ම ඉතා කුඩා බව පෙන්වීම සැනසිල්ලට හේතුවී තිබේ.

බොහෝ විදුලි වාහන වසර අටක, කිලෝමීටර 100,000ක බැටරි වගකීමක් සමඟ පැමිණෙන අතර, එබැවින් ධාරිතාව සියයට 70ට වඩා පහළ වැටුණහොත්, බැටරිය නොමිලේ ප්‍රතිස්ථාපනය කෙරේ. මම වගකීම් කාලය ඉක්මවා කිලෝමීටර 250,000ක් ඔවුන්ගේ මුල් බැටරි පැකේජ සමඟ ධාවනය කළ විදුලි වාහනවල තවමත් හොඳ ආරෝපණයක් සහ පරාසයක් පවතින බව හඳුනාගත හැකිය. 

දැන් බොහෝ විශේෂඥයින් එකඟ වන්නේ විදුලි වාහනයක බැටරිය වාහනයේ චැසිය පරදවා පවතින බවයි. පාරිභෝගික වාර්තා අනුව සාමාන්‍ය බැටරි පැකේජයක ආයු අපේක්ෂාව කිලෝමීටර 200,000ක් වන අතර, විදුලි වාහන 6,000ක් පිළිබඳ ජියෝටැබ් අධ්‍යයනයකින් පෙන්නුම් කරන්නේ වසර 10ක් තුළ බැටරි ධාරිතාවේ සියයට 10ක අහිමි වීමක් ඇති බවයි.

නමුත් දශකයක භාවිතයෙන් පසු, දහන එන්ජිමක් ද යාන්ත්‍රික ඇබිරීම නිසා කාර්යක්ෂමතාව අහිමි වනු ඇත.

වෙළඳුන් දැන් බැටරි සඳහා සෞඛ්‍ය තත්ත්ව (SOH) සහතික පිරිනමන අතර බොහෝ විදුලි වාහනවල හිමිකරුට SOH ඔවුන්ම පරීක්ෂා කිරීමට භාවිතා කළ හැකි මෘදුකාංග ඇත. 

කෙසේ වෙතත්,  මුල් නිසාන් ලීෆ් බැටරි සම්බන්ධ සිසිලන ගැටලු තිබූ අතර අනෙකුත් විදුලි වාහන වලට වඩා වේගයෙන් පරාසය සහ ධාරිතාව අහිමිවීම පෙන්නුම් කෙරිණි. මුල් රෙනෝල්ට් සෝයි වල බැටරි වලද කළමනාකරණ ගැටලු තිබූ අතර පැරණිම විදුලි ස්මාට් විදුලි වාහන අලුත්වැඩියා කිරීම අපහසු විය හැකිය. පැරණිම BMW i3 වල විශ්වසනීයතා ගැටලු පැවති අතර, වොට්කාර් සඟරාවට අනුව MG4 සහ Vauxhall Corsa E හි ද එවැනි ගැටලු තිබී ඇත.

සාමාන්‍ය නීතියක් ලෙස, පැරණිම විදුලි වාහන මග හැරීම බුද්ධිමත් තීරණයක් විය හැකිය.ඒවා අකර්ෂණීය ලෙස ලාබ විය හැකි නමුත් රැවටිය යුතු නොවේ. 
මේ වනවිට ලෝකයේ බැටරි තාක්ෂණය දැන් වැඩිදියුණු වී ඇති අතර, එමඟින් දිගු පරාස, වේගවත් ආරෝපණ කාලයන් සහ වඩා හොඳ මෘදුකාංග ලැබී ඇත. සමහරක් සතුව CHAdeMO ප්ලග් ද තිබිය හැකි අතර, ඒවා බොහෝ රටවල අහෝසි කරමින් පවතී, නමුත් දැන් සියලුම ආරෝපකයන්හි භාවිතා කරන සංයුක්ත ආරෝපණ පද්ධතියට (CCS) පරිවර්තනය කිරීමට අනුහුරුකරණ මිලදී ගත හැකිය. 

කෙසේ වෙතත් හයිබ්‍රිඩ් බැටරිවල කල් ඉකුත් වීමට පෙර අසාර්ථක වීම් පවතී, මන්ද පැකේජය වඩා වේගයෙන් සිදුවන වැඩි ආරෝපණ චක්‍ර නිසාය.

හයිබ්‍රිඩ් බැටරි-පමණක් විදුලි වාහනවලට වඩා අඩු විශ්වසනීයතාවක් පෙන්නුම් කරයි, මන්ද ඒවාට බල යාන්ත්‍ර දෙකක් - පෙට්‍රල් එන්ජිමක් සහ බැටරියක් සම්බන්ධිත බැවින් වැරදීමට දෙගුණයක් ඇත. ඒවා නඩත්තු කිරීමටද වැඩි වියදමක් යන අතර විදුලිය පමණක් භාවිතයෙන් ඒවායේ පරාසය විදුලි වාහනයකට වඩා බොහෝ අඩුය. මෘදු හයිබ්‍රිඩ් සහ පූර්ණ හයිබ්‍රිඩ් ලෙස හඳුන්වන වාහන ප්‍රධාන වශයෙන් පෙට්‍රල් එන්ජිමකින් ක්‍රියාත්මක වන අතර ඒවා නියම විදුලි වාහන නොවේ.
නියම විදුලි වාහනයක් දෙවැනි වර අත්පත් කර ගැනීම සත්‍ය වශයෙන්ම දහන එන්ජින් වාහනයක් ගන්නවාට වඩා හොඳ ආයෝජනයක් විය හැකිය. ලෝකය වෙනස් වෙමින් පවතී. තාක්ෂණය ඒ සමගම ඉක්මනින් වෙනස්වේ.

(සම්මාන දිනූ මෝටර් රථ තාක්ෂණ මාධ්‍යවේදී ක්වෙන්ටින් විල්සන් ලියූ ලිපියක් ඇසුරිනි)