මෙම අනීතික ඉදිකිරීම් සිදුව ඇති වැව් විසිතුනේම රක්ෂිත මායිම් නිවැරදිව සලකුණු කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට නියමිතය. එහි පළමු පියවර අනුරාධපුර නුවර වැවෙන් ආරම්භ කිරීමට තීරණය වී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
නුවර වැවේ මැනුම් කටයුතු වලදී සාම්ප්‍රදායික මායිම් ගල් වෙනුවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනන්‍ය වූ විශේෂ සලකුණක් යොදා රක්ෂිතය නම් කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය. එමෙන්ම නුවර වැව වටා අනවසරයෙන් පදිංචිව සිටින පිරිස් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා වාර්තාවක් සකස් කළ යුතු බවටද මෙහිදී යෝජනා විය.
මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ උතුරුමැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් පී.බී. දිසානායක මහතා පෙන්වා දුන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර නුවර වැව් රක්ෂිතයේ ඉදිකර ඇති මහ ඇමති නිල නිවස, ආණ්ඩුකාර නිල නිවස සහ අභිමන්සල වැනි රාජ්‍ය ඉදිකිරීම් පළමුව ඉවත් කර ආදර්ශයක් ලබා දිය යුතු බවයි.
අදාළ නීති විරෝධී ඉදිකිරීම් සිදුකර ඇති බවට හඳුනාගත් වැව් රක්ෂිත අතරට අනුරාධපුර නුවර වැව, ඉරක්කමන් වැව, දම්බරාවැව, දෙමෝදර වැව, උන්නච්චයි වැව, නව කිරි වැව, ඇල්ල කන්ද වැව, තිස්ස වැව, රිදියගම වැව, දේවහූව වැව, වෑමැඩිල්ල වැව, සියඹලංගමුව වැව, දැදුරුඔය ජලාශය, මුතුකණ්ඩිය වැව, යෝධ වැව, අකතිමුරුප්පු වැව, වියදි කුලම්, පාවට්ට කුලම්, මින්නේරිය වැව, ගිරිතලේ වැව, ඉඟිණිමිටිය ජලාශය, තම්බෝව වැව සහ කන්තලේ වැව ඇතුළත් වේ.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය සේන නානායක්කාර, සුසන්ත කුමාර නවරත්න, පී.ඩී.එන්.කේ. පලිහේන, තිළින තාරුක සමරකෝන්, භාග්‍ය ශ්‍රී හේරත්, රෝහණ බණ්ඩාර යන මහත්වරුන් සහ උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ. එම්. ආර්. පී. ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් ශාමිලා වික්‍රමආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval