nishantha-wickramasinghe-granted-bail-after-son-and-daughter-in-law-say-he-is-80-years-old-cant-even-remember-is-living-with-the-help-of-his-son-and-daughter-in-law

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 12 1/2ක රජයේ මුදල් වියදම් කිරීම ඇතුළු සිද්ධි තුනකට අදාළව රිමාන්ඩ් භාරයේ රදවා සිටි මහින්ද රාප්පක්ෂ මහතාගේ මස්සිනා වන, ශ්‍රී‍ ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (15) නියම කළාය.


සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල රැකව මහතා කරුණු දක්වමින්,

අවුරුදු 80ක වයෝවෘද්ධ පුද්ගලයකු වන තම සේවාදායකයා බෙහෙත් ගැනීමටවත් ගෙදරින් තනියෙන් එළියට යෑමට නොහැකි තත්වයේ පසුවන්නේ යැයි කීය. තම සේවාදායකයාගේ පුතා සහ ලේලිය ඔහුට අවශ්‍ය සියලු දේ කර දෙන බවත්, සිද්ධියට අදාළව විමර්ශනය ආරම්භ වූ මුල් කාලයේ තම සේවාදායකයා ප්‍රකාශ දී ඇතත් මේ වන විට ඔහුගේ මතකය පවා නොමැති බවත් කී නීතිඥ අසේල රැකව මහතා, වකුගඩු හා හෘදයාබාධ වැනි රෝගී තත්වයෙන් පසු වන තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

රුපියල් 50,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ඇපකරුවන් තිදෙනකුගේ ශරීර ඇප මත සැකකරු මුදාහළ මහේස්ත්‍රාත්වරිය,

අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් කොන්දේසියක් ද පැනවූවාය.ඉහත සිද්ධිවලට අදාළව රිමාන්ඩ් භාරයේ රඳවා සිටි සැකකරු පැමිණිලි කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා 2014 ජනවාරි 22 වැනිදා පියාසර කිරීමට නියමිතව තිබූ අංක යූ.එල්. 319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීමෙන් ඇමෙරිකානු ඩොලර් 4,512ක පාඩුවක් රජයට කරන ලදැයි ද, මාලදිවයිනේ සිට 2014 ජනවාරි 26 වැනිදා ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටව යෑමට සිටි මගීන් 75 දෙනකු අංක යූ.එල්. 563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීමෙන් ඇමෙරිකානු ඩොලර් 19,160ක මුදලක් රජයට පාඩු කරන ලදැයි ද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් 2014 දෙසැම්බර් 19 වැනිදා කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවැති මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රුපියල් 1,250,000ක රජයේ මුදල් වියදම් කරන ලදැයි ද

කියන සිද්ධිවලට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ මහතා රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබ සිටියේය.

සිද්ධිවලට අදාළව කළ විමර්ශනවලදී හෙළි වූ කරුණු අනුව පසුගිය ජුනි 27 වැනිදා නාවල ප්‍රදේශයේදී අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ නිලධාරීහු කරුණු දක්වමින්, සැකකරුට එරෙහිව ආරම්භ කළ විමර්ශනයන්ට අදාළව පැවැත්වූ විමර්ශන කටයුතු බොහෝ දුරට අවසන්ව ඇති හෙයින්, සුදුසු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියහ.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළාය.