
අසල්වැසි කාන්තාවක් ස්නානය කරනු දෙස බලා සිටියේ යැයි කියන සිදුවීමක් මුල් කරගෙන ඇතිවූ ආරවුලක් උග්‍ර අතට හැරීමෙන් පුද්ගලයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාව මත අඹුසැමි යුවළක් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබන ජූලි මස 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. සැකකාර අඹුසැමි යුවළ අගලවත්ත, පිඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්තේ,
ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාගේ පුත්‍රයා විසින් සැකකාරිය ස්නානය කරන අයුරු ඔවුන්ගේ නිවසේ ජනේලයකින් හොර රහසේ බැලීමක් මුල් කරගෙන මෙම ආරවුල හටගෙන ඇති බවයි. දෙපාර්ශ්වය අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවකින් අනතුරුව මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වී ඇත.
පසුගිය 08 වන දින රාත්‍රී 7.05ට පමණ මෙම ප්‍රහාරය සිදුවී ඇති අතර, ඉන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා පළමුව පිඹුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.
සිදුවීමෙන් පසු සිය මුහුණ සහ පපුව ජලයෙන් සෝදාගත් තුවාලකරු,
තමන්ට ඇසිඩ් ප්‍රහාරය එල්ල කළේ මන්දැයි විමසීම සඳහා එදින මධ්‍යම රාත්‍රී 12.20ට පමණ සැකකරුවන්ගේ නිවසට ගොස් තිබේ. එම අවස්ථාවේදී සැකකාර අඹුසැමි යුවළ විසින් ඔහුට දෙවන වරටත් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිස් වාර්තා මගින් අනාවරණය වේ.
අගලවත්ත පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ධම්මික සිල්වා මහතාගේ උපදෙස් මත මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කෙරේ.

