owner-says-driver-was-smoking-marijuana-two-police-officers-injured-in-crane-accident

 බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේදී ඊයේ (28) උදෑසන සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් හත් දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබූ අතර තිරිංග අක්‍රිය වීමක් හේතුවෙන් සිදු වූ බවට මූලිකව සැක කෙරෙන මෙම අනතුරට හේතු වූ දොඹකර රථයේ රියදුරු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත. 



පෙරවරු 8.00 ට පමණ මාර්ග සංඥා ආලෝකයට අනුව නතර කර තිබූ වාහන පෙළක් වෙත පිටුපසින් පැමිණි දොඹකර රථය පාලනය කරගත නොහැකිව කඩා වැදී ඇති අතර, එහිදී යතුරුපැදි හයක්, මෝටර් රථ දෙකක් සහ ජීප් රථයක් අනතුරට ලක්විය. අනතුරින් මියගොස් ඇත්තේ යතුරුපැදියක ගමන් ගත් මාලබේ ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙකි. තුවාල ලැබූවන් අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු වන අතර, ඔවුන්ගෙන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

තුවාලකරුවන් ‍අතර පොලිස් නිලධාරීන් දෙන්නෙකුද වූ අතර ඔවුන් එක් අයෙකු අපරාධ වාර්තා කොට්ඨාසයටත් තවත් අයෙකු අල්ලස් හෝ දූෂණ කොට්ඨාසයටත් අනුයුක්ත නිලධාරීන් බව වාර්තා විය.

අනතුරට ලක්වූ  මෝටර් රථයේ හිමිකරු බව කියන තරුණයකු සමාජ මාධ්‍යයට අදහස් දක්වමින්  දොඹකර රථය රාජගිරිය ප‍්‍රදේශයේ සිට පැමිණි බවත්, එය මාර්ගයේ පැමිණීමේදී එහි රියැදුරු බීමත්ව රියපදවන අයුරු නිරීක්ෂණය වූ බවත් පවසා  තිබේ. මෙම සැකකාර රියැදුරු අනිවාර්යයෙන්ම කුමන හෝ  මත්ද්‍රව්‍යයක් පානය කර ඇති බවට සැකකරන බවත් ඔහු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ යුතු බවත් තරුණයා එමගින් ප‍්‍රකාශ කර තිබුණි.මෙම   අනතුර   සම්බන්ධයෙන්   එම   දොඹකර   රථයේ   හිමිකරු  තරුනණයාද  පසුව අත්අඩංගුවට  ගැනුණි.  ඔහු  අද  අලුත්කඬේ  මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුර සිදුකළ දොඹකර රථයේ රියදුරු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී ඔහු ගංජා වැනි (කැනබීස් සැටයිවා එල්) මත්ද්‍රව්‍යයක් භාවිත කර ඇති බවට තහවුරු වූ බව බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක සූරියආරච්චි මහතා ප්‍රකාශ කළේය. සිද්ධියෙන් පසු එම ස්ථානයේ දැඩි රථවාහන තදබදයක් හටගත් අතර, එය පාලනය කිරීමට පොලිසිය කඩිනම් පියවර ගෙන තිබුණි.
 සැකකාර රියදුරු සහ හිමිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බොරැල්ල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විදානගේ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4


gossiplanka image 5