
මන්නාරම මහේස්ත්‍රාත්වරයාට අපහාස වන අයුරින් ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ වීඩියෝවක් පළ කිරීමේ චෝදනාව මත 25 හැවිරිදි තරුණයෙකු මඩු පොලිසිය විසින් පෙරේදා (07) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මඩු, මුල්ලිකුලම ප්‍රදේශයේ පදිංචි, අපරාධ කිහිපයකටම සම්බන්ධ බව කියන පුද්ගලයෙකි.
මෙම සැකකරු, පහරදී පිහියකින් ඇන තුවාල සිදුකිරීමේ සිද්ධියකට අදාළ නඩුවක් සඳහා පසුගිය 07 වන දින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට ඇත.
එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ නඩුව ලබන 15 වන දා දක්වා කල් තැබීමෙන් අනතුරුව, අධිකරණයෙන් පිටතට පැමිණි සැකකරු මෙම අපහාසාත්මක වීඩියෝව නිර්මාණය කර සමාජ මාධ්‍යයට මුදා හැර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
පොලිස් වාර්තාවලට අනුව මෙම තරුණයා මීට පෙරද විවිධ අපරාධ සඳහා අත්අඩංගුවට පත්වූවෙකි. 2022 වසරේදී සොරකමක් සම්බන්ධයෙන්ද, 2023 වසරේදී පහරදී සොරකම් කිරීමේ චෝදනාවක් මතද ඔහු අත්අඩංගුවට පත්ව ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මඩු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval