ජාතික කලාභවනේ තැන්පත් කර තිබූ අතිශය වටිනා චිත්‍ර නිර්මාණ හතළිස් හතක් අභිරහස් ලෙස අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙරට කලා ඉතිහාසයේ සුවිශේෂී වටිනාකමකින් යුත් මෙම කලා කෘති අස්ථානගත වීම ජාතික අපරාධයක් ලෙස සැලකේ.
මෙලෙස අතුරුදන්ව ඇති චිත්‍ර අතරින් කොටසක්, පසුගිය යහපාලන රජයේ කටයුතු කළ හිටපු අමාත්‍යවරයෙකුගේ මස්සිනා කෙනෙකු සතුව පවතින බවට ප්‍රබල චෝදනාවක් එල්ල වී තිබේ. තවත් චිත්‍ර කිහිපයක් මෙරට කීර්තිමත් කැසිනෝ ව්‍යාපාරිකයෙකුගේ භාරයේ ඇති බවට ද තොරතුරු හෙළිදරව් වී ඇත.
ජාතික කලාභවන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමා තිබූ කාලසීමාවකදී මෙම සිතුවම් සොරකම් කර ඇති බවට සැක කෙරේ. මෙම ක්‍රියාව සඳහා එකල සේවයේ යෙදී සිටි ආරක්ෂක නිලධාරීන්ගේ සහයෝගය ද ලැබී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අතුරුදන් වූ මෙම කලා කෘති අතර ඒ.සී.ජී.එස්. අමරසේකර සහ ජේ.ඩී.ඒ. පෙරේරා වැනි මෙරට බිහිවූ විශිෂ්ටතම චිත්‍ර ශිල්පීන්ගේ අගනා නිර්මාණ රැසක් ද වන බව සඳහන් වේ. මෙම සිදුවීම මෙරට කලා ක්ෂේත්‍රයට එල්ල වූ බරපතල පහරක් ලෙස විචාරකයෝ පෙන්වා දෙති.
මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් සංස්කෘතික කටයුතු අමාත්‍ය,
ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා තහවුරු කළේ ජාතික කලාභවන සතු වටිනා චිත්‍ර එකතුවකින් කොටසක් අස්ථානගත වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් දැනටමත් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
නඩත්තු කටයුතු හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇති ජාතික කලාභවනය, හැකි ඉක්මනින් මහජනතාව සඳහා යළි විවෘත කිරීමෙන් අනතුරුව අතුරුදන් වූ චිත්‍ර නැවත ලබාගැනීම සඳහා සියලු පියවර ගන්නා බවටද ඔහු වැඩිදුරටත් පොරොන්දු විය.