13-women-arrested-at-two-donkey-markets-in-wadduwa

 වාද්දූව ප්‍රදේශයේ ස්ථාන දෙකක පවත්වාගෙන ගිය මහා පරිමාණ බූරු පොළවල් දෙකක් වටලා කාන්තාවන් දහතුන් දෙනෙකු ඇතුළු දහසය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට වාද්දූව පොලීසිය සමත් වී තිබේ. 



මෙම වැටලීම් සිදුකර ඇත්තේ වාද්දූව, දළදාවත්ත සහ හබරල ගහ ලන්ද යන ප්‍රදේශවලදීය. දළදාවත්ත ප්‍රදේශයේදී කාන්තාවන් අට දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ද, හබරල ගහ ලන්ද ප්‍රදේශයේදී කාන්තාවන් පස් දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

විශේෂත්වය වන්නේ මෙම නීති විරෝධී බූරු පොළවල් දෙකම මෙහෙයවා ඇත්තේ ද කාන්තාවන් දෙදෙනෙකු විසින් වීමය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී රුපියල් 1,008,000ක මුදලක්, කාඩ් කුට්ටම් දෙකක් සහ පැදුරු දෙකක් පොලිස් භාරයට ගෙන ඇත. වාද්දූව පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක ප්‍රියදර්ශන විතානගේ මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර තුන් හැවිරිදි කුඩා දරුවෙකු අතැතිව සිටි මවක් ද වූ බවයි.



වාද්දුව සහ ඒ අවට ප්‍රදේශවලම පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් සහ සැකකාරියන් සියලු දෙනා පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇති අතර, ඔවුන්ට එරෙහිව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.