
කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක නවය වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් පස් දෙනෙකු මත්පෙති භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මරදාන පොලීසිය විසින් පොලිස් භාරයට ගෙන තිබේ. මෙම සිසුවියන්ට මත්පෙති අලෙවි කළ බව කියන මට්ටක්කුලිය ප්‍රදේශයේ පුද්ගලයෙකු ද මත්පෙති දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
පාසල් පරිශ්‍රය තුළදී සිසුවියන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට ලද තොරතුරක් මත විද්‍යාලයේ විදුහල්පතිනිය
විසින් මරදාන පොලීසිය දැනුවත් කිරීමෙන් පසු මෙම සිදුවීම අනාවරණය වී තිබේ. විද්‍යාලයට පැමිණි පොලිස් නිලධාරීන් අදාළ සිසුවියන් පස් දෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, එක් සිසුවියක් විසින් තමන්ට මත්පෙති ලබාදුන් බවට අනෙක් සිසුවියන් සිව් දෙනාම ප්‍රකාශ කර ඇත.
තවදුරටත් සිදුකළ විමර්ශනවලදී, මත්පෙති රැගෙන ආ බව කියන සිසුවියගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ පසුගිය සතියේ දින තුනකදී (21, 23, 25) තමන් මත්පෙති පාසලට රැගෙන ආ බවයි. එම පෙති තමන් මෙන්ම මිතුරියන් ද පාසලේ වැසිකිළිය තුළදී භාවිත කළ බව ඇය පිළිගෙන තිබේ. මෙම මත්පෙති මට්ටක්කුලිය, මල්වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මිලදී ගත් බවට ද ඇය තොරතුරු හෙළිකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සිසුවියන් පස් දෙනා දෙමාපියන් වෙත භාර දී ඇති අතර, ඔවුන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ද යොමු කර තිබේ. සිසුවියන්ට මත්පෙති අලෙවි කළ සැකකරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඩී. එස්. පත්මකුමාර මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval