
කුරුණෑගල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ "එරාමිරකල් ජෙනිසික්" නම් පිරමීඩ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය. රුපියල් කෝටි 1000කට අධික මහජන මුදල් වංචා කළ බව කියන මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නිශාන්ත නිමල් සහ කේ.එච්. ප්‍රියන්ත නමැති පුද්ගලයන් දෙදෙනෙකි.
මෙම මූල්‍ය වංචාව සඳහා මහජනතාව පොළඹවා ගැනීමේ අරමුණින් ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල දේශන සහ වැඩසටහන් පවත්වමින් ප්‍රවර්ධන කටයුතුවල නිරත වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය. නව සාමාජිකයන් බඳවා ගැනීම වෙනුවෙන් ඔවුන්ට විශාල කොමිස් මුදලක් ලැබී ඇති බවටද විමර්ශනවලදී හෙළි වී ඇතැයි විමර්ශන නිලධාරීන් පෙන්වා දෙන ලදී.
මෙම පිරමීඩ ව්‍යාපාරය පවත්වාගෙන ගිය පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයා වන කුරුණෑගල පදිංචි රණසිංහ ආරච්චිගේ ධම්මික කුමාර රණසිංහ සහ ඔහුගේ බිරිඳ වන ගාල්ලේ වඩුගේ සමුද්‍රා සුරංගනී හේමචන්ද්‍ර යන දෙදෙනා මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවන බවද
විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ, වංචාවට හසුවූ පුද්ගලයන් රැසකගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙසය. කෙසේ වෙතත්, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතිඥ මඩුල්ල කියා සිටියේ තම සේවාදායකයන් මෙම සිද්ධියට කිසිදු ආකාරයකින් ආධාර අනුබල දීමක් හෝ ප්‍රවර්ධන කටයුත්තක් සිදු කර නොමැති බවය. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval