ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල තුළ, එහි අධ්‍යක්ෂ ධුරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් හේතුවෙන් උග්‍ර පරිපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති බවට සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග අනාවරණය කරයි. රෝහලේ වත්මන් අධ්‍යක්ෂවරයා එම තනතුරෙන් නිල වශයෙන් ඉවත් කිරීමට පෙර, එම තනතුර සඳහා වෙනත් වෛද්‍යවරයකු පත් කිරීම මෙම අර්බුදයට මුල් වී තිබේ.
රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් නිවාඩු ලබා සිටින අතරතුර,
සෞඛ්‍ය ලේකම්වරයා විසින් එම තනතුරට නව පත්කිරීමක් සිදු කර ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පනතට අනුව, තනතුරු සඳහා පත්කිරීම් සිදුකිරීමේ සහ ඉවත් කිරීමේ බලය ඇත්තේ රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයට වන අතර, සෞඛ්‍ය ලේකම්වරයාට එවැනි බලයක් නොමැති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා සිය පස් අවුරුදු සේවා කාලයෙන් අනතුරුව අමාත්‍යාංශයට මාරුවීමක් ඉල්ලා රාජ්‍ය සේවා කොමිසමට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණ ද, එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබූ පසුබිමක මෙම නව පත්කිරීම සිදු කර තිබීම නීති විරෝධී බවට චෝදනා එල්ල වේ. තවද, වෛද්‍ය හේවගේ මහතා තනතුරෙන් ඉවත් කළ බවට ලිඛිත දැනුම් දීමක් හෝ ඒ සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලද ලිපියක් හෝ ඔහුට ලැබී නොමැති බවද වාර්තා වේ.
මෙම පරිපාලන අර්බුදයට අමතරව, රෝහල මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයකට ද මුහුණ පා සිටී. රෝහලේ විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා පසුගිය සතියේ පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස්වී ඇති අතර, ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහේෂි විජේරත්න මහත්මිය මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.
මෙම තත්ත්වය හමුවේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමු කරමින්, රෝහල සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරු පිළිබඳව සිය සංගමය දැඩි කනස්සල්ලෙන් පසුවන බව දන්වා ඇත. එමෙන්ම, මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා විශේෂඥ තාක්ෂණික වාර්තාවක් ලබා දෙන ලෙස ද ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval