ප්ලාස්ටික් සහ පොලිතින් අපද්‍රව්‍ය හේතුවෙන් නාගරික කාණු පද්ධති අවහිර වීම වැළැක්වීම සඳහා නිර්මාණය කළ 'ස්මාර්ට් කාණු පද්ධතිය' වෙනුවෙන්, ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (WIPO) ගෝලීය සම්මානය දිනාගත් ශ්‍රී ලාංකික ඉංජිනේරු ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී සිය නවෝත්පාදනය පිළිබඳව දැනුවත් කළාය.
ඇයගේ මෙම නවෝත්පාදනය, වැසි ජලය බාධාවකින් තොරව ගලා යෑමට සලස්වන අතරතුර ඝන අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව රඳවා ගැනීමේ ද්විත්ව ස්ථර ව්‍යුහයකින් සමන්විතය. එමෙන්ම, අපද්‍රව්‍ය මගින් කාණුව පිරී ගිය විට අදාළ නාගරික බලධාරීන් වෙත සංවේදක හරහා පණිවිඩයක් නිකුත් කිරීමේ තාක්ෂණයකින්ද එය සමන්විත වන අතර, එමගින් ගංවතුර අවදානම් කල්තියා කළමනාකරණයට අවස්ථාව සැලසේ.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති 2025 WIPO සම්මාන උළෙලේදී, රටවල් 95කින් ඉදිරිපත් වූ අයදුම්කරුවන් 780 දෙනෙකු අභිබවා යමින්,
හොඳම නවෝත්පාදකයන් දස දෙනා අතරට එක්වීමට ආචාර්ය චන්ද්‍රසේන මහත්මිය සමත් විය. 'බුද්ධිමය දේපළ සඳහා වන නොබෙල් ත්‍යාගය' ලෙසද සැලකෙන මෙම සම්මානය හිමිවන්නේ, බුද්ධිමය දේපළ මත පදනම්ව වාණිජමය වශයෙන් සාර්ථක වීමේ හැකියාව සහිත, ආයෝජකයන්ගේ අවධානය දිනාගත් නිර්මාණ සඳහා පමණි.
ගාල්ලේ උපත ලබා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය, සිය කුඩා අවධියේදී ගාල්ල නගරයේ කාණු පද්ධති සුළු වර්ෂාවකින් පවා උතුරා යන අයුරු නිරන්තරයෙන් අත්දැක තිබේ. එම පෞද්ගලික අත්දැකීම, නාගරික ගංවතුර ගැටලුවට තිරසර විසඳුමක් සෙවීමට ඇයව පොළඹවා ඇති අතර, 'ස්මාර්ට් කාණු' සංකල්පය එහි සාර්ථක ප්‍රතිඵලයකි.
මෙම ජයග්‍රහණයට පෙරද, ඇයගේ 'ස්මාර්ට් කාණු' නිර්මාණය ඔස්ට්‍රේලියාවේ පැවති ‘ගුඩ් ඩිසයිනර්’ සම්මාන උළෙලේදී විශිෂ්ටතම ඉංජිනේරු සැලසුමට හිමි සම්මානය දිනා ගත්තේ, ලෝක ප්‍රකට ටෙස්ලා සමාගමේ නිර්මාණ ඇතුළු තවත් සම්මානිත නිර්මාණ රැසක් පරාජය කරමිනි. සිය ජයග්‍රහණයෙන් පසු වේදිකාවට ගොඩවූ ඇය, ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයට සිය ගෞරවය පුද කරමින් කළ කතාව සහ පැළඳ සිටි සාරිය ජාත්‍යන්තරයේ විශේෂ අවධානයට ලක් විය.
ස්මාර්ට් ඩ්‍රේන් යනු සාම්ප්‍රදායික ජලාපවහනය අපද්‍රව්‍ය මගින් අවහිර වූ විට පවා නාගරික ගංවතුර වැළැක්වීම සඳහා නිර්මාණය කර ඇති අවහිර-ප්‍රතිරෝධී කුණාටු කාණු පද්ධතියකි. ද්විත්ව ස්ථර ව්‍යුහයකින් සමන්විත එය, කුණාටු ජලය නිදහසේ ගලා යාමට ඉඩ සලසන අතරම ප්ලාස්ටික් වැනි ඝන ද්‍රව්‍ය උගුලට හසු කරයි.
ගංවතුර අවදානම් වලට කල්තියා ප්‍රතිචාර දැක්වීමට නාගරික බලධාරීන්ට හැකි වන පරිදි, ජල මට්ටම් තත්‍ය කාලීනව නිරීක්ෂණය කිරීම ද පද්ධතියට ඇතුළත් වේ.
මෙලෙස, සිය කුඩා කල අත්දැකීමක් ලෝකයටම විසඳුමක් බවට පත්කිරීමට ආචාර්ය නදීශා චන්ද්‍රසේන සමත් වී ඇත. ඇයගේ 'ස්මාර්ට් කාණු' සංකල්පය, ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට පමණක් නොව, ලොව පුරා නාගරික ප්‍රදේශ මුහුණ දෙන දැවෙන පාරිසරික අභියෝගයක් වන අපද්‍රව්‍ය කළමනාකරණය සහ ගංවතුර පාලනය සඳහා ප්‍රායෝගික සහ තාක්ෂණික පිළිතුරක් සපයයි. මෙම ජයග්‍රහණය, ශ්‍රී ලාංකික බුද්ධිමතුන්ගේ නවෝත්පාදන හැකියාව ජාත්‍යන්තර තලයේ ඉහළින්ම සනිටුහන් කරන අතර, නිදහස් අධ්‍යාපනයෙන් ලද පන්නරය ලෝකය වෙනස් කළ හැකි බලවේගයක් බවට පත්කළ හැකි බවට ඇය කදිම ආදර්ශයකි.
Comments
Post a Comment
Your comment will be visible after approval