
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවරදී ඉන්දියාවේ කේරළයේ කාන්තාවක් සිය දිවි නසාගැනීමේ සිදුවීම ඉන්දියාවේ මෙන්ම ඩුබායිහි ද මහත් කම්පනයක් ඇති කර තිබේ. මෙම සිදුවීමත් සමග, චෝදනාවට ලක්ව සිටින ඇයගේ සැමියා සේවය කළ ඩුබායි හි පිහිටි සමාගම විසින් ඔහුව සේවයෙන් පහ කර ඇත.
සමාගමේ මානව සම්පත් කළමනාකරු මේ පිළිබඳව තොරතුරු ලබා දෙමින් කියා සිටියේ, තම සමාගමේ අඩවි ඉංජිනේරුවරයෙකු වූ සතීෂ් ශිවශංකර් පිල්ලේට එරෙහිව කේරළයේ ගොනු කර ඇති නඩුව සහ මාධ්‍ය වාර්තා පිළිබඳව බලධාරීන් විසින් තොරතුරු රැස් කළ බවයි. සතීෂ්ගේ හැසිරීම් රටාව දැක්වෙන වීඩියෝ දර්ශන දුටු සියලුම නිලධාරීන් කම්පනයට පත් වූ බව ඔහු පැවසීය. ඒ අනුව, තම බිරිඳට එරෙහිව ඔහු විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩකාරී සහ නින්දාසහගත හැසිරීම් සැලකිල්ලට ගනිමින්, ඔහුව සේවයෙන් පහ කිරීමට තීරණය කර ඇත.
සමාගම විසින් සතීෂ් වෙත යවන ලද සේවයෙන් පහ කිරීමේ ලිපියෙහි ද මෙම කරුණ පැහැදිලිව සඳහන් කර තිබේ. "ඔබගේ බිරිඳගේ සිය දිවි නසාගැනීමට ඔබගේ සම්බන්ධය පැහැදිලිව පෙනී යන බැවින්, සමාගම ඔබගේ සියලුම සේවාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කරන බව මෙයින් දැනුම් දෙනු ලැබේ. ඔබ විසින් සිදු කරන ලද දරුණු ශාරීරික හා මානසික හිංසනයන් නිසා පීඩාවට පත් ඔබගේ බිරිඳ සිය දිවි නසාගෙන ඇත. මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද අපරාධයක් ලෙස සැලකේ" යනුවෙන් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
මීට පෙර, පසුගිය සෙනසුරාදා, කේරළයේ අතුල්යා ශේකර් නමැති මෙම කාන්තාව සාජා හි පිහිටි ඇයගේ මහල් නිවාසයේදී මියගොස් සිටියදී සොයාගන්නා ලදී.
ඇයගේ පවුලේ අය විසින් කරන ලද පැමිණිල්ලක් මත, ඇයගේ සැමියාට එරෙහිව නඩුවක් ගොනු කර තිබිණි.
ඉන්ඩියා ටුඩේ වාර්තාවකට අනුව, අතුල්යාගේ මව විසින් පොලිසියට පැමිණිල්ලක් ගොනු කර ඇත. එහිදී ඇය චෝදනා කර ඇත්තේ ජූලි 18 සහ 19 යන දින අතර කාලය තුළ සතීෂ් විසින් අතුල්යාගේ ගෙල සිර කර, ඇයගේ උදරයට පයින් පහර දී, පසුව පිඟානකින් ඇගේ හිසට පහර දුන් බවයි. මෙම පහරදීම ඇයගේ මරණයට හේතු වූ බවට ඇයගේ මව චෝදනා කර තිබේ.
(ඉන්ඩියා ටුඩේ ඇසුරිනි)
Comments
Post a Comment
Your comment will be visible after approval