were-the-two-people-shot-and-killed-in-middeniya-over-drug-trafficking

මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේ තේක්ක කැලෑවක දී කුලී ඝාතකයන් විසින් තරුණයන් දෙදෙනෙකුගේ හිස්වලට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ මත් කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත. 



ඝාතනයට ලක්වූ පුද්ගලයන් වන්නේ ඇඹිලිපිටිය, කුඩගල පාරේ පදිංචි 39 හැවිරිදි අබේසේකරගේ චමල් අබේකෝන් සහ මිද්දෙණිය, තෝරකොළයාය, බෝගස්වැව පදිංචි 26 හැවිරිදි ජයසේකරගේ කැලුම් තුෂාර යන දෙදෙනාය. මෙම සිද්ධිය හෙල්වල අතුරු මාර්ගයේ දී ඊයේ 25 වැනිදා සිදුවී ඇත.

පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට, ඝාතනයට ලක්වූ දෙදෙනාම කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ සම්බන්ධ වී සිට ඇත. චමල් අබේකෝන් පෞද්ගලික බස් රථ රියදුරෙකු ලෙස සේවය කර ඇති අතර, ඔහු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී චෝදනා ලබා බන්ධනාගාරගත වී සිට මාසයකට පමණ පෙර නිවසට පැමිණ සිටි අයෙකි. කැලුම් තුෂාර, චමල් අබේකෝන්ගේ මිතුරෙකු වන අතර, ඔහු විදේශගත වී රැකියාවක් කර මෙරටට පැමිණි අයෙකි.

තුෂාර ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති පරිදි, ඝාතනය සිදුවීමට පැය කිහිපයකට පෙර චමල් අබේකෝන්ට විදේශීය රටකින් දුරකථන ඇමතුමක් ලැබී ඇත. ඉන් අනතුරුව ඔහු කැලුම් තුෂාර සමඟ යතුරුපැදියක නැඟ තෝරකොළයාය අතුරු මාර්ගයේ ගමන් කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

පොලිසිය සැක කරන්නේ මෙම පුද්ගලයන් දෙදෙනා ඔවුන්ගේ හිතවතුන් විසින්ම තේක්ක කැලයට කැඳවාගෙන ගොස් ඝාතනය කරන්නට ඇති බවය. ඝාතනය සිදුවූ ස්ථානයේ ඔවුන් පැමිණි යතුරුපැදිය ද වැටී තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත. 

මෙම ඝාතනය සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ. ඝාතනයට ලක්වූ දෙදෙනාගේම හිස්වලට වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි.

පොලිස් විමර්ශනවලින් තවදුරටත් හෙළිවී ඇත්තේ මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ 'ඩුබායි ළහිරු' නමැත්තෙකු විසින් බවය. මේ අනුව මෙම ඝාතන විදේශීය රටක සිට මෙහෙයවා ඇති බවට ද පොලිසිය සැක කරයි.


මෙම ඝාතනය සම්බන්ධයෙන් හම්බන්තොට හා මාතර දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසාගේ උපදෙස් මත තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න, තංගල්ල කොට්ඨාස 11 සහකාර පොලිස් අධිකාරි ආරියරත්න යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂණ සිදුකෙරෙයි.



සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව තංගල්ල කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකු පවසා ඇත.

තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්.එච්. ප්‍රමුදිත හා වෛද්‍ය කේ.ජී.ඒ. ගමගේ මහත්මිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික වෛද්‍ය පරීක්ෂණය සිදු කර ඇත. වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරිය විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය 25 වැනිදා සවස සිදු කිරීමට නියමිතව තිබුණි.

මෙම ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරම් හා ගැටගැසී ඇති සිද්ධියක් බවට තහවුරු වී ඇති අතර, ඒ සම්බන්ධ ගැඹුරු විමර්ශන පොලිසිය විසින් මේ වන විට ආරම්භ කර ඇත. 


gossiplanka image 2
gossiplanka image 3


gossiplanka image 4