visa-period-of-foreigners-including-sri-lankans-extended-by-three-months-due-to-israeli-war-situation

ඊශ්‍රායලයේ පවතින යුද වාතාවරණය හේතුවෙන් එරට ආගමන හා විගමන ආයතනය (පී.අයි.බී.ඒ.) විසින් ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු සියලුම විදේශිකයන්ගේ වීසා කාලය මාස තුනක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ජූනි 19 වන දින ප්‍රකාශ කළේය. 



එම නිවේදනයට අනුව, දැනට වීසා කාලය ඉකුත්වන සියලු දෙනාට මෙම සහනය හිමිවන අතර,

විශේෂයෙන් වීසා කාණ්ඩ නවයක් සඳහා මෙම සහනය අදාළ වන බව තානාපතිවරයා විසින් අවධාරණය කරන ලදී.

දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින පුද්ගලයින් 119 දෙනෙකු නැවත ඊශ්‍රායලයට යා යුතු බව ඊශ්‍රායල බලධාරීන් විසින් තානාපති කාර්යාලයට දන්වා ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය හා විදේශ කටයුතු, විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයක් මත ඔවුන් ඊශ්‍රායලයට ආපසු යැවීම තාවකාලිකව අත්හිටුවා ඇති බව බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

නැවත ගුවන් ගමන් ආරම්භ වූ වහාම, එම පිරිසට නැවත ඊශ්‍රායලයට පැමිණීම සඳහා අවශ්‍ය වීසා දීර්ඝ කිරීම ලබාදෙන බව ඊශ්‍රායලයේ ආගමන හා විගමන ආයතනය තානාපති කාර්යාලයට තහවුරු කර ඇති බව ද බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



යුද්ධය ආරම්භ වූ දින සිට ඊශ්‍රායලයට නැවත පැමිණීමේ වීසා කල් ඉකුත් වූ කිසිවෙකුට ඊශ්‍රායලයට නැවත පැමිණීමේදී ගැටලුවක් ඇති නොවනු ඇති බව ද තානාපතිවරයා විසින් ප්‍රකාශ කර සිටියේය.

යුද්ධය හේතුවෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනාගෙන් දෙදෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවත්, තානාපති කාර්යාලය දිනපතා ඔවුන්ගේ තොරතුරු සොයා බලන බවත් තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය. තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ට ඇතිවූ මානසික ආතතිය අවම කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකු ඔවුන් හමුවීමට යොමු කර ඇති බව ද තානාපතිවරයා සඳහන් කළේය.

තානාපති කාර්යාලය සතියේ දින හතම ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කැපවී සිටින බවත්, ගැටලුවලට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයන්ට සහ ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට තානාපති කාර්යාලය හා වට්ස්ඇප් මගින් සම්බන්ධ විය හැකි බවත් බණ්ඩාර මහතා අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටියේය.