father-and-son-arrested-for-tearing-off-police-officers-uniform-and-biting-his-hand

බදුල්ල කහටරුප්ප පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිගේ නිල ඇඳුම ඉරා, ඔහු සමඟ පොරබදා අතක් සපා කෑ පියෙකු සහ පුතෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කහටරුප්ප ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ පැවති පොසොන් කලාපයේ රාජකාරි සඳහා පොලිස් ස්ථානාධිපතිවරයා පසුගිය 17 වැනි දින රාත්‍රී කාලයේ ගොස් සිටියදී මෙම සිදුවීමට මුහුණ දී ඇත.

පොලිසිය වාර්තා කරන ආකාරයට,

පොසොන් කලාපය පිහිටි භූමියේ බීමතින් කලහකාරී ලෙස හැසිරෙමින් සිටි පුද්ගලයෙකු එම ස්ථානයෙන් ඉවත් කිරීමට යාමේදී, ඔහු පොලිස් ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැණ වැදී නිල ඇඳුම ඉරා දමා පොර බදා ඇත.

පොලිසිය තවදුරටත් සඳහන් කරන්නේ, එම අවස්ථාවේදී එතැනට පැමිණි එම පුද්ගලයාගේ පියාද පොලිස් නිලධාරීන් සමඟ ගැටුමක් ඇතිකර ගෙන ඇති බවයි.

මෙම සිද්ධියෙන් පසු දෙදෙනාම අත්අඩංගුවට ගෙන පොලිස් ජීප් රථයට නංවාගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන යමින් සිටියදී පාලාවත්ත ප්‍රදේශයේදී පියාත් පුතාත් ජීප් රථය තුළ කළහකාරී ලෙස හැසිරීමට පටන්ගත් බව පොලීසිය සඳහන් කරයි.

ඔවුන් ජීප් රථයේ දොරවල්වලට පයින් ගසමින් ස්ථානාධිපතිවරයාගේ අතක්ද සපා කා ඇති බව පොලිසිය පවසයි.

මෙම අවස්ථාවේදී ජීප් රථය පදවමින් සිටියේ පොලිස් ස්ථානාධිපතිවරයාය. අත සපා කෑමත් සමඟ ජීප් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වේල්ලක වැදී නතර වී තිබේ. මෙම අනතුරින් පොලිස් ස්ථානාධිපතිවරයාද සැකකාර පිය පුතුන්ද තුවාල ලබා කහටරුප්ප රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි. පසුව පියාත් පුතාත් බදුල්ල රෝහලට මාරුකර යවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කහටරුප්ප පොලිසිය විසින් සිදු කරමින් පවතී. අදාළ පුද්ගලයින්ට එරෙහිව රාජකාරියට බාධා කිරීම, රජයේ දේපළ හානි කිරීම සහ රාජ්‍ය නිලධාරියෙකුට පහර දීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ නීතිමය පියවර ගැනීමට නියමිතය.