unlicensed-chinese-gem-dealer-sentenced-to-prison

 බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ මැණික් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ චීන ජාතික ප්‍රකට මැණික් ව්‍යාපාරිකයකු වන වෙයිඩින් ලිව් නමැති 50 හැවිරිදි දෙදරු පියකුට වසර 15කට අත්හිවූ බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක් නියම කළ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ‍ මහතා ඔහුගේ නමින් පෞද්ගලික බැංකුවක තැන්පත්කොට තිබූ රුපියල් මිලියන 201කට අධික මුදලක් රාජසන්තක කිරීමටද ඊයේ (12දා) නියම කළේය. 






2017 ඔක්තෝබර් 19 හා 2018 පෙබරවාරි 28 වැනිදා කාලය අතරතුරදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් නිකුත් කළ නිසි බලපත්‍රයක් නොමැතිව මැණික් අලෙවි කිරීමෙන් උපයාගත් මුදල් පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමේ චෝදනාවට එනම් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන චෝදනාවට වරදකරු කරනු ලැබූ එකී විත්තිකරුට එම දඬුවම් නියම කළේය. එම විත්තිකරු වසර 12කට ආසන්න කාලයක් බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ මැණික් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවත් පසුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් නිත්‍යානුකූල බලපත්‍රයක් ලබාගෙන ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය වී තිබිණි. ස්වාමිනී මුදල් විශුද්ධිකරණයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන රටක් ලෙස ශ්‍රී ලංකාව ා මෙ වන විට කීර්තියක් දිනාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් ලබන වසරේදී ජාත්‍යන්තර ඇගයීමට ලක්වීමට නියමිත බවත් නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා විනිසුරුවරයාට පැවැසීය. 


සිය සේවාදායකයා ශ්‍රී ලංකාවට පැමිණ මැණික් ව්‍යාපාරය ආරම්භ කළ නමුත්

ඒ සඳහා බලපත්‍රයක් අවශ්‍ය බව දැන නොසිටි බවත් එහිදී අධිකරණයට පැවැසූ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රන්ජන් ද සිල්වා මහතා විත්තිකරුට යළි සමාජගත හැකි විය පරිදි ලිහිල් දඬුවමක් නියම කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එකී කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරු පෙර කී චෝදනාවට පමණක් වරදකරුකොට නීති විරෝධී ක්‍රියාකාරකමින් උපයාගත් බැංකු ගතකොට තිබූ රුපියල් 201,664,224.20 මුදල රාජසන්තක කිර්මට නියෝග කළේය.