පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ 'අමුක ඩුමුක' ගීතයේ නර්තන රටාව නිසා ජනප්‍රියත්වයට පත් තරුණ කලාකරු රුක්ෂාන් සෙනුර කළුතර ප්‍රදේශයේදී ඝාතනය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ පුවත
සම්පූර්ණයෙන්ම අසත්‍ය බව FactcrescendoSL කළ විමර්ශනයකින් හෙළි වී තිබේ. මෙම අසත්‍ය තොරතුරු ප්‍රචාරය මගින් රුක්ෂාන් සෙනුරගේ පවුලේ සාමාජිකයන්ට, හිතවතුන්ට මෙන්ම ඔහුගේ රසිකයින්ට ද මානසික පීඩාවක් ඇති කිරීමට හේතු වී ඇත.පසුගිය දිනවල TikTok සමාජ මාධ්‍ය ජාලය හරහා "රුකා මල්ලිගේ සිරුර මැටි වලකින් හම්බෙයි" යන සිරස්තලය යටතේ වීඩියෝවක් ව්‍යාප්ත විය. එම වීඩියෝවේ, හිරු නාලිකාවේ පුවත් විකාශයක කොටසක් ලෙස පෙන්වමින්, පුද්ගලයෙකුගේ ගෙල කපා ඝාතනය කර මෘත දේහය මැටි වලකට දමා ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරමක් ආශ්‍රිත ගැටළුවක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවත් දැක්විණි.
එම වීඩියෝවේ විශේෂත්වය වූයේ, ඝාතනයට ලක් වූ පුද්ගලයා 'අමුක ඩුමුක' ගීතය හරහා ජනප්‍රියත්වයට පත් රුක්ෂාන් සෙනුර (රුකා) බව හැඟවීමට ඔහුගේ ඡායාරූපයක් ද එකතු කර තිබීමයි. මෙම පුවත සත්‍ය ද යන්න පිළිබඳව බොහෝ දෙනා විමසිලිමත් වූ අතර,
විමර්ශනයේදී, 'අමුක ඩුමුක' ගීතයට නර්තන විලාසයක් එක් කරමින් සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වයට පත් වූ රුක්ෂාන් සෙනුර සත්‍ය වශයෙන්ම ඝාතනය කර ඇත්දැයි ප්‍රධාන මාධ්‍ය ආයතන හරහා පරීක්ෂා කිරිමේදී එවැනි පුවතක් කිසිදු ප්‍රධාන මාධ්‍ය ආයතනයක පළ වී නොතිබුණි.
වැදගත් කරුණක් ලෙස, රුක්ෂාන් සෙනුරගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කිරීමේදී, මෙම අසත්‍ය පුවත ප්‍රචාරය වූ මැයි 30 දිනට පසුව ඔහුගේ ගිණුම් යාවත්කාලීන වී ඇති බව තහවුරු විය. මෙම ලිපිය ලියන ජූනි 12 දිනට පෙර, එනම් ජූනි 8 වන දා දක්වා ඔහුගේ ෆේස්බුක් පිටුව යාවත්කාලීන වී තිබූ අතර, ඔහුගේ TikTok ගිණුම ද ජූනි 10 වන දා දක්වා යාවත්කාලීන කර තිබුණි. මෙම කරුණු අනුව, රුක්ෂාන් සෙනුර ජීවතුන් අතර සිටින බව පැහැදිලි වේ.
අසත්‍ය පුවත ප්‍රචාරය කළ TikTok වීඩියෝවේ, හිරු පුවත් හරහා විකාශය වූ පුවතක් ලෙස පෙන්වා තිබූ අතර, පසුගිය මැයි 30 වන දින හිරු නාලිකාව විසින් වාර්තා කළ පුවතක සත්‍ය වශයෙන්ම කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් පුද්ගලයෙකුගේ ගෙල කපා ඝාතනය කර මෘත දේහය මැටි වලකට දැමූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව සඳහන් විය.
නමුත් එම සත්‍ය පුවතේ ඝාතනයට ලක් වූ පුද්ගලයා රුක්ෂාන් සෙනුර බව සඳහන් නොවූ අතර, ඔහුගේ ඡායාරූපයක් ද පළ වී නොතිබුණි.
මෙම නිරීක්ෂණයෙන් පැහැදිලි වන්නේ, සත්‍ය පුවත් විකාශය සංස්කරණය කරමින්, රුක්ෂාන් සෙනුරගේ ඡායාරූපය ඊට එක් කර අසත්‍ය තොරතුරක් නිර්මාණය කර ඇති බවයි.
මෙම සිද්ධිය වඩාත් නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා කළුතර පොලිස් ස්ථානයෙන් සහ කළුතර ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් ද විමසීමක් සිදු කර තිබෙන අතර ඔවුන් තහවුරු කළේ:
1. ඝාතනයට ලක් වූ පුද්ගලයා කළුතර ප්‍රදේශයේ උග්ගල්බඩ පදිංචි, වයස අවුරුදු 48ක පමණ පුද්ගලයෙකු බව.
2. මෙම ඝාතනය සිදු වී ඇත්තේ පසුගිය මැයි 6 වන දින, එනම් පළාත් පාලන මැතිවරණය පැවති දින බව.
3. ඝාතනයට ලක් වූ පුද්ගලයා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙකු නොවන බව.
වැදගත් සාක්ෂියක් ලෙස, 2023 වසරේ YouTube නාලිකාවක වැඩසටහනකදී රුක්ෂාන් සෙනුරගේ වයස අවුරුදු 16ක් බව සඳහන් කර තිබුණි. ඒ අනුව, 2025 වසර වන විට ඔහුගේ වයස අවුරුදු 18ක් පමණ වන අතර, ඔහු ජීවත් වන්නේ වෙන්නප්පුව ප්‍රදේශයේ බව ද තහවුරු විය. මෙම තොරතුරු අනුව ද, ඝාතනයට ලක් වූයේ රුක්ෂාන් සෙනුර නොවන බව පැහැදිලි වේ, මන්ද ඝාතනයට ලක් වූ පුද්ගලයා වයස අවුරුදු 48ක උග්ගල්බඩ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය තහවුරු කර ඇති නිසාය.
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ, පුද්ගලයෙකුගේ ගෙල කපා ඝාතනය කර මෘත දේහය මැටි වලකට දැමූ සැකකරුවන් දෙදෙනෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට පළ වූ පුවත සත්‍ය වුවත්, ඝාතනයට ලක් වූයේ 'අමුක ඩුමුක' ගීතය හරහා ජනප්‍රියත්වයට පත් රුක්ෂාන් සෙනුර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
මෙම අසත්‍ය පුවත, සත්‍ය වශයෙන් විකාශය වූ පුවත් වීඩියෝවක් සංස්කරණය කර, රුක්ෂාන් සෙනුරගේ ඡායාරූපය එයට එකතු කිරීම හරහා නිර්මාණය කර ඇත.
සමාජ මාධ්‍ය හරහා මෙවැනි අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම මගින්, අදාළ පුද්ගලයාට, ඔහුගේ පවුලේ සාමාජිකයින්ට, මිතුරන්ට මෙන්ම රසිකයින්ට ද අනවශ්‍ය කම්පනයක් හා මානසික පීඩාවක් ඇති විය හැකි බැවින්, මෙවැනි අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීමෙන් වැළකීම අවශ්‍යවේ.
(Pavithra Sandamali)
Comments
Post a Comment
Your comment will be visible after approval