
දෙහිවල හිල් වීදියේ නීතිඥවරියකට අයත් නිවසෙහි මිදුලේ වැටී සිටියදී රෝහල්ගත කිරීමෙන් අනතුරුව අබිරහස් ලෙස පසුගිය ජනවාරි මස 3 වැනි දින මියගිය මාධ්‍යවේදිනියගේ සැමියාගේ මරණය හිසට මොට නම්‍යශීලී වස්තුවකින් පහරදීමෙන් සිදු වූවක් බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඊයේ (12දා) ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය හමුවේ සාක්ෂි ලබා දෙමින් පැවැසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මරණ පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගෙන් යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවට මහෙස්ත්‍රාත්වරිය වෙත කරන ලද ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සාක්ෂි සඳහා අධිකරණයට කැඳවූ අවස්ථාවේදී මෙම සාක්ෂි ලබා දී තිබේ.
හිසෙහි දකුණු පස, ශරීරයේ පිටුපස සහ අත්පාවල මොට නම්‍යශීලී වස්තුවකින් පහරදීමෙන් ඇති වූ තුවාල 21ක් තමන්ට නිරීක්ෂණය කළ හැකි වූ බවත් ශරීරයේ කැපුම් සහ ඇනුම් තුවාල කිසිවක් නොමැති බවටද අධිකරණ වෛද්‍යවරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවැසීය.
මාධ්‍යවේදිනියගේ සැමියා වන අගොස්තිනුගේ හේමජීව (60) දෙහිවල වෛද්‍ය පාරේ පදිංචිව සිටි අයෙකි. ඔහු දෙහිවල හිල් වීදියේ නීතිඥවරියකට අයත් නිවසෙහි මිදුලෙහි වැටී සිට ඇති අතර එදින රාත්‍රියේදී නීතිඥවරියගේ සැමියා වන හිටපු ගුවන් හමුදා නිලධාරීවරයා විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දෙන ලද දුරකථන ඇමතුමකට අනුව රාත්‍රි 11.00ට පමණ දෙහිවල පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බලා තිබිණි.
තුවාල සහිත පුද්ගලයා එම අවස්ථාවෙහිදී රෝහල්ගත කිරීමට පොලිසිය හෝ නිවැසියන් කටයුතු නොකළේ ඇයි දැයි මහෙස්ත්‍රාත්වරිය අදාළ නිවසෙහි පදිංචිකාරිය වන නීතිඥවරියගේ සාක්ෂි කැඳවූ අවස්ථාවේදී නීතිඥවරියගෙන් විමසීය.
එදින පැමිණි පොලිස් නිලධාරීන් තුවාලකරු පරීක්ෂා කර බලා ඔහු බීමත්ව සිටින බවත් "ටිකකින් නැඟිටලා යයි" යනුවෙන් පවසා ඇත. තවද, දොරවල් හොඳින් වසා ගේට්ටුව පමණක් විවෘතව තබා නිවැසියන්ට නිදාගන්නා ලෙසට පොලිස් නිලධාරීන් තමන්ට උපදෙස් දුන් බව අදාළ නිවසෙහි පදිංචිකාරිය වන නීතිඥවරිය අධිකරණය හමුවේ පැවැසීය.
මියගිය තැනැත්තාගේ බිරිය මාධ්‍යවේදිනියක වන අතර සිය සැමියා ජනවාරි මස පළමුවැනිදා රැකියාවට පිටත්ව ගොස් නැවත නිවෙස කරා නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමේදී ඊට පසුදින එනම් ජනවාරි 2 වැනි දින දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැළුම් පහරවල් සහිතව ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී සොයා ගෙන තිබිණි. අසාධ්‍ය තත්ත්වයේ සිටි තුවාලකරු ජනවාරි මස 03 වැනි දින උදෑසන මියගොස් තිබූ අතර, මරණය සම්බන්ධයෙන් දෙහිවල පොලිසියෙන් සාධාරණ විමර්ශනයක් සිදු කිරීම බලාපොරොත්තු විය නොහැකි වීම යන කරුණු මත මරණය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කිරීමට අතිරේක මහෙස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුනි.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ගීත්ම ප්‍රනාන්දු, වරුණ ජයසිංහ යන නීතිඥවරු පෙනී සිටියහ. ඒ අනුව මෙම නඩුව ජූලි මස 3 වැනි දින නැවත කැඳවීමට නියමිතයි.
මරණය සම්බන්ධයෙන් ඇති අනෙකුත් සාක්ෂි කැඳවීම ජූලි මස 3 වැනි දිනට සිදුකරන ලෙසට අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇති අතර, මෙම මරණය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval