two-people-remanded-for-allegedly-selling-rented-vehicles-by-preparing-false-documents

බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් කුලියට ලබාගත් වාහනවලට ව්‍යාජ ලේඛන සකස් කර ඒවා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මාලිගාවත්ත සහ හොරණ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30ක් සහ 36ක් වන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් සතුව අයිස් ග්‍රෑම් 23යි මිලිග්‍රෑම් 650ක් ද සොයාගෙන ඇත. 





පොලිසිය විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ පරිදි, මෙම සැකකරුවන් විවිධ ප්‍රදේශවලින් වාහන කුලියට ලබාගෙන ඒවා ව්‍යාජ ලේඛන සහිතව විකුණා ඇත. අනුරාධපුරයෙන් කුලියට ගත් වෑන් රථයක් රුපියල් ලක්ෂ 104කට, බොරැල්ලේ වාහන කුලියට දෙන ස්ථානයකින් ගත් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 90කට, පාණදුරේ වාහන කුලියට දෙන ස්ථානයකින් ලබාගත් වාහනයක් එහි එන්ජින් අංක සහ චැසි අංක වෙනස් කර රුපියල් ලක්ෂ 58කට, මොරගහහේනේ වාහන කුලී ආයතනයකින් ලබාගත් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 50කට, සහ වැල්ලම්පිටියෙන් කුලියට ගත් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 42කට විකුණා ඇති බව හෙළි වී තිබේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි, සැකකරුවන් තම ඉලක්ක ලෙස තෝරාගෙන ඇත්තේ කුලී පදනම මත වාහන ලබාදෙන බවට දැන්වීම් පළකර ඇති ස්ථානයි. ඔවුන් දැන්වීම්වල සඳහන් දුරකථන අංකවලට ඇමතුම් දී මසකට හෝ සතියකට එකවර අත්තිකාරම් මුදල් ගෙවා වාහන කුලියට ගෙන ඇත. ඉන්පසු එම වාහන සඳහා ව්‍යාජ ලියාපදිංචි පොත් ඇතුළු අවශ්‍ය ලේඛන සකස් කර ඒවා තෙවන පාර්ශවයන්ට විකුණා ඇති බව පොලිසිය පවසයි.



මෙම සැකකරුවන්ගෙන් එක් අයෙකුට හොරණ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබූ අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් සතුව ව්‍යාජ ලෙස සකස් කළ තාවකාලික රියදුරු බලපත්‍රයක්, ජාතික හැඳුනුම්පතක්, ආදායම් බලපත්‍රයක් සහ මෑතකදී ලියාපදිංචි කළ වාහන අංක තහඩු දෙකක් ද සොයාගෙන තිබේ. මීට අමතරව වාහන කුලියට දෙන ආයතන සමඟ සන්නිවේදනය සඳහා ඔවුන් භාවිතා කළ දුරකථන පහක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා පෙරේදා (14 වන දින) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනය කර තිබේ.