11.33 am update
කොළඹ මහනගර සභාවේ පළමු රැස්වීමේ පැවති ඡන්ද විමසීමෙන් කොළඹ නගරාධිපතිවරිය ලෙස ජාතික ජන බලවේගයේ අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය තේරී පත්විය.
සභික මන්ත්‍රීවරු 117 ක් ලබාදුන් ඡන්ද 61 ක් ඇයට හිමිවූ අතර විපක්ෂව ඉදිරිපත්වූ සමගි ජන බලවේගයේ රිසා සාරුක් ලබාගත්තේ ඡන්ද 54 ක් පමණි.
ඡන්ද 2 ක් ප්‍රතික්සේප විය.
59 සීමාව ඉක්මවා ලබාගත් නිසා ඒ අනුව අභිනව නගරාධිපතිනිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය තේරී පත්විය. රහස් ඡන්දයක් පැවති නිසා ජාතික ජන බලවේගයට සහය දුන් අය කවුදැයි හෙළිවූයේ නැත.
එජාපයේ බලකොටුවක් වූ කොළඹ නගරසභාව මේ ආකාරයට පෙරළියකට ලක්වීම ‍සුවිශේෂ දේශපාලන සිදුවීමකි.
වීඩියෝව පහතින්


 11.15 am update
නගරාධිපතිධූරය සඳහා ඡන්ද විමසීමට අදාළව ඡන්ද ප්‍රකාශ කිරීම අවසන්ව තිබෙන අතර ඡන්ද ගණං කර නව නගරාධිපති පත්කිරීම ඊළඟට සිදුවේ.


 10.24 am update
වාද විවාද අවසානයේ රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය වූ අතර ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් ආණ්ඩුව පාර්ශ්වයෙන් යෝජනා කර තිබෙන අතර
මීට අමතරව විපක්ෂය නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ රීසා සරුක් යෝජනා කර තිබෙයි. ඔවුන්ගේ නම් ඉදිරියේ අංක 1 හා 2 සලකුණු කර ඡන්ද විමසීම තව සුළු මොහොතකින් පැවැත්වෙනු ඇත.


9.55am update
බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සභාවේ සැසිය ඇරඹී ඇත.
නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් අනුව සිදුකරන්නේ ද? නැතිනම් විවෘත ඡන්ද විමසීමක් පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට සභාවේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

මෙහිදී සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය විසින් විවෘත ඡන්දයක් ඉල්ලා සිටියේය.

ඊට අදාළ ගැසට් නිවේදනය පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පසුගියදා නිකුත් කළ අතර ඒ අනුව කොළඹ නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී, නව නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුකිරීමට නියමිතය.

9.45am update
අලුතින් පත්වූ කොළඹ මහ නගර සභාව (CMC) අද (16) පෙරවරු 9:30 ට නගර ශාලාවේදී එහි මංගල සැසිවාරය ආරම්භ කර ඇත. මෙම සැසිවාරයේ ප්‍රධාන න්‍යාය පත්‍රය වන්නේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තේරීමයි.

නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සැසිය තුළදී, කොළඹ මහ නගර සභාවේ ඉදිරි වසර සඳහා නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට නියමිතව තිබේ. 


මැයි 6 වැනි දින පැවති පළාත් පාලන මැතිවරණයේදී කිසිදු පක්ෂයකට බහුතර බලය ලබා ගැනීමට නොහැකි වූ අතර, ජාතික ජන බලවේගය (NPP) ආසන 48ක් ලබා ගනිමින් ප්‍රමුඛත්වය ගෙන තිබේ. ඊළඟට සමගි ජන බලවේගය (SJB) ආසන 29ක් දිනා ගෙන ඇත.

සාමාජිකයින් 117 දෙනෙකුගෙන් සමන්විත කොළඹ මහ නගර සභාවේ බහුතරය සඳහා අවශ්‍ය වන ආසන 59ක සහය ලබා ගැනීමට හැකි බව දෙපක්ෂයම ප්‍රකාශ කර සිටී.



මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාව ජය ගත්ත ද, බහුතර බලයක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වූයේ නැත. ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවෙන් සභික ධුර 48ක් හිමි වී ඇති අතර, සමගි ජන බලවේගය සභික ධුර 29ක් සහ එක්සත් ජාතික පක්ෂය සභික ධුර 13ක් දිනා ගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කොළඹින් හිමි වූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 5ක් වන අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සභික ධුර 4ක් දිනා ගෙන ඇත. ස්වාධීන කණ්ඩායම් අංක තුන, මන්ත්‍රී ආසන තුනක් දිනා ගනිද්දී, ස්වාධීන කණ්ඩායම් 04 සහ 05 ආසන දෙක බැගින් හිමිකර ගෙන තිබේ.

ජාතික ජන බලවේගයෙන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තරග කරන්නේ ව්‍රායි ඛැලී බර්තසාර් මහත්මියයි. විපක්ෂයේ පක්ෂවල සහය ඇතිව සමගි ජන බලවේගයේ රිසා ෆාරුක් මහතා නගරාධිපති ධුරයට තරග වදිනවා.

කොළඹ මහ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට නම්, සභික ධුර 117න්, 59ක් හිමිකර ගත යුතු බව දැනට පවතින නීති රීති අනුව පැහැදිලි වේ.



අද පැවැත්වෙන මංගල සැසිවාරයේදී, මෙම තීරණාත්මක තරඟය කෙසේ අවසන් වේද යන්න රට පුරා ජනතාවගේ අවධානය දිනා ගෙන ඇත. විශේෂයෙන් කොළඹ නගරය ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන බැවින්, එහි පාලනය ලබා ගැනීම සඳහා පක්ෂ අතර දැඩි තරඟයක් පවතින බව පෙනේ.

ජනතාවගේ ඡන්දයෙන් තෝරා පත් වූ මන්ත්‍රීවරුන්ගේ තීරණය මත අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී, කොළඹ මහ නගර සභාවේ ඉදිරි ගමන් මග තීරණය වනු ඇත.