කළුතර විශේෂ කාර්ය බළකා කඳවුරේ සිද්ධාන්ත වෙඩි පුහුණු පිටියේදී උණ්ඩයක් යකඩ ඉලක්ක පථයේ වැදී එහි කොටස් විසිවීම හේතුවෙන් කළුතර උතුර පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු රෝහල්ගත කර ඇතැයි කළුතර දකුණ පොලීසිය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයකු හා සැරයන්වරයකු තුවාල ලැබූවන් අතර වන බව පොලීසිය පවසයි.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාරද සිල්වා සහ පොලිස් පරීක්ෂක බී.එස්. සිල්වා, පොලිස් සැරයන් (40474) කුමාර යන තිදෙනායි.
පොලිස්පතිගේ නියෝග පරිදි කළුතර විශේෂ කාර්ය බළකා කඳවුරේ සිද්ධාන්ත වෙඩි පුහුණු පිටියේදී පිස්තෝල වර්ගයේ ගිනි අවි පුහුණුවීමක් ඉකුත් 17 වැනිදා සිදුකර ඇති අතර එම අවස්ථාවේදී කළුතර උතුර පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන් (70736) විජේසිංහ නිලධාරියාගෙන් නිකුත් වූ උණ්ඩයක් යකඩ ඉලක්ක පථයේ වැදී එහි කොටස් විසිවීම හේතුවෙන් ඒ අසල සිටි කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ වම් අතේ ඉහළ කොටසට ද, පොලිස් විශේෂ කාර්ය බළකා උප පොලිස් පරීක්ෂකවරයාගේ දකුණු කන අසල පහළ ප්රදේශයට ද, පොලිස් සැරයන්වරයාගේ උදරය ප්රදේශයට ද
එම උණ්ඩ කොටස් වැදී තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
තුවාල ලද ඔවුන් තිදෙනා කළුතර දකුණ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.
කළුතර දකුණ පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
(බණ්ඩාරගම - බිමල් ජයසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval