padme-and-sanjeeva-arau-they-tried-to-kill-raul-indika-for-a-contract-of-225-lakhs-but-it-went-wrong

 සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකු වූ කෙහෙල්බද්දර පද්දෙ සහ ගණේමුල්ල සංජීව අතර ආරවුල ඇරඹෙන්නේ මීට වසර කිහිපයක පෙර සිටය. එම ආරවුල උග්‍ර වන්නේ පස්මෙගේ පියා වූ නෙවිල් නමැත්තා ගණේමුල්ල සංජීවගේ පාරිශ්වය විසින් වෙඩි තබා මරා දැමීමත් සමඟය. පියා වෙඩි තබා මරා දැමීමත් සමඟ තම ජීවිතයටද සංජීවගේ පාර්ශ්වයෙන් හානියක් සිදුවෙතැයි යන සැකය මත ඩුබායි රාජ්‍යය වෙත පලා යන

කෙහෙල්බද්දර පද්ම ඉන් අනතුරුව එරට රැඳී සිටින හීනටියන මහේෂ් සමඟ එකතුව ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට දැඩි උත්සාහයක් ගත්තේය.

එහි ප්‍රතිඵලයක් ලෙස සංජීවගේ සමීපතමයන් කිහිපදෙනකුම ඝාතනය වන අතර අවසානයේ සංජීවද විදේශ රටකට පලායන්නේ සිය ජීවිතය බේරා ගැනීම සඳහාය. 


සංජීවද විදේශගතව සිටිමින් පද්මගේ හිතවතුන් සහ සමීපතමයන් සොයා වෙඩි තැබීම් සිදු කළේය. අවසානයේ නේපාලයේ රැඳී සිටි ගණේමුල්ල සංජීව එරට ආරක්ෂක අංශවලට කොටුව මෙරටට එවනු ලැබීමෙන් පසු අත්අඩංගුවට පත්වන මොහු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිර්ම සඳහා රඳවා තැබෙන අතර දින 90ක රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසු බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය. පසුව එම බන්ධනාගාරයේ රඳවා තැබුණු මොහු ඉකුත් පෙබරවාරි 19 වැනිදා නඩු කටයුත්තක් සඳහා කොළඹ අලුත්කඩේ අධිකරණයට රැගෙන පැමිණ සිටියදී පද්ම විසින් මෙහෙයවනු ලැබූ තුවක්කුකරුවකු විසින් ගණේමුල්ල සංජීව නමැත්තා අධිකරණය තුළදීම වෙඩි තබා මරා දැමුවේය.


ගණේමුල්ල සංජීව මේ වන විට සිටින්නේ වළපල්ලේය. කෙහෙල්බද්දර පද්මි රැඳී සිටින්නේ විදෙස්ගතවය. සංජීවගේ ඝාතනය ඔහුගේ ගෝලබාලයන් ඉවසුවේ නැත. ඔවුන් පද්දෙගේ හිතවතුන් සමීපතමයන් සොයා යමින් වෙඩි තැබීම් කිහිපයක්ම සිදු කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් සංජීවගේ සමීපතයන් ඉලක්ක කරගනිමින් තුවක්කුකරුවෝ මෙහෙයවූහ. මින් පාර්ශ්ව දෙකේම කිහිපදෙනකු ඝාතනය වූ අතර සමහරු වෙඩි කා ජීවිතය බේරාගත්හ.

රැවුල් ඉන්දික වෙඩි තබා මරා දැමීමට ගත් උත්සාහයද එම  ගැටුමේ එක් ප්‍රතිඵලයක් විය. රැවුල් ඉන්දික කෙහෙල්බද්දර පද්දෙගේ කල්ලියේ ප්‍රබල සාමාජිකයෙකි. ඒ නිසා ඔහු ඝාතනය කිරීමට ගණේමුල්ල සංජීවගේ පාර්ශ්වය දැඩි උත්සාහයක් ගත්තේය. එවන් එක් උත්සාහයක් අනාවරණය කර ගැනීමට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ඉකුත්දා හැකි විය. නිලධාරීන්ට එම ඝාතන සැලැස්ම හෙළිකර ගැනීමට හැකි වූයේ  රැවුල් ඉන්දික නමැත්තාගේ නිවෙස අසල රැඳී සිටි යුදහමුදා හිටපු කමාන්ඩෝ සෙබළකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය. අසිත නමින් හැඳින්වූ මොහු වසර 5ක කාලයක් කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කළ අයෙක් විය.


විවිධ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ රැවුල් ඉන්දික  මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේ පදිංචිව සිටි අතර ඔහුට ඒ වන විටත් සංජීවගේ පාර්ශ්වයෙන් ජීවිත තර්ජන එල්ල වී තිබිණි. පොලිසිය මෙන්ම ඉන්දිකද ඒ බව දැන සිටියේය. ජීවිත තර්ජන සම්බන්ධයෙන් පොලිසියද ඔහු දැනුවත් කර තිබූ අතර ගමන් බිමන් යෑමේදී පරිස්සම් වන ලෙසද නිලධාරීන් ඔහුට පවසා තිබුණේය. එහෙත් කිසියම් නඩු කටයුත්තකට අනුව සෑම මසකම අවසන් ඉරිදාවේ ඔහු මිනුවන්ගොඩ පොලිසියේ අස්සන් කිර්මට නියෝගයක් තිබී ඇත. ඒ අනුව ඝාතන සැලසුම සකස් කෙර් ඇත. රැවුල් ඉන්දික මිනුවන්ගොඩ උන්නාරුවේ නිවෙසේ සිට පොලිසියට යන මොහොතේ හෝ ඔහු ඝාතනය කිරීම එම සැලසුම විය. ඔහු නිවෙසින් පිටව යන මොහොත බලා ඒ බව පැවැසීම සඳහා කමාන්ඩෝ අසිත නමැත්තා උන්නාරුවේ නිවෙස අසල රඳවා තබා ඇත්තේ ඝාතන සැලැස්ම මෙහෙය වූ පුද්ගලයන් විසින්ය. එහෙත් ඉන්දික එදින නිවෙසින් පිටතට පැමිණියේ නැත. ඒ තිබූ සැකය නිසා වන්නට ඇත. ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද

තොරතුරක් මත නිලධාරීන් එම සෙබළා ඉකුත්දා උන්නාරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේය. ඒ අයිස් මිලිග්‍රෑම් 5742ක් සහ ජීව අත්බෝම්බයක් සමඟය. අසිත අත්අඩංගුවට පත්වීමත් සමඟ ඝාතන සැලැස්ම ව්‍යර්ථ විය. ඒ ඝාතකයන්ට රැවුල් ඉන්දික නිවෙසෙන් පිටවූයේද යන්න තොරතුරු නොලැබීම නිසාය. කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් සැකකාර අසිතගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය. එහිදී අනාවරණය වන්නේ ගණේමුල්ල සංජීවගේ පාර්ශ්වයේ සංඛ සහ සුසන්ත යන අපරාධකරුවන්ගේ මෙහෙයවීමෙන් මෙම ඝාතන සැලැස්ම සකස් කර තිබූ බවය.


මොවුන් දෙදෙනාම සිටින්නේ විදෙස්ගතවය. රැවුල් ඉන්දික නිවෙසින් පිටව පොලිසියට යැමෙන් පසු ඔහු ඝාතනය කිරීම සඳහා තුවක්කුකරුවන් දෙදෙනකු කැබ් රියකින් සූදානම්ව සිටි බවට තොරතුරු හෙළි වූ බවත් විමර්ශන නිලධාරියෙක් පැවැසීය. එම කුලී ඝාතකයන් පැමිණෙනතුරු අත්අඩංගුවට ගත් සැකකරු උන්නාරුව ප්‍රදේශයේ රැඳී සිට ඇති බවද නිලධාරියා සඳහන් කළේය. සංජීවගේ පාර්ශ්වයේ හිතවතකු වූ සුසන්තද උන්නාරුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මීට කලකට පෙර ඔහු සහ රැවුල් ඉන්දික අතර ඇති වූ ආරවුලක් මෙම ඝාතන සැලැස්මට හේතු වී ඇතැයි විමර්ශන නිලධාහු පැවැසූහ.


ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සුසන්ත නමැත්තාට රැවුල් ඉන්දික උන්නාරුවේ පදිංචිව සිටීම නිසා ගමට පැමිණීමට නොහැකි වීම ඊට තවත් හේතුවක් බවත් විමර්ශන නිලධාරියකු සඳහන් කළේය. 2011 වසරේ තිබූ වෙඩිතැබීමක් දෙදෙනා අතර ගැටුමට ප්‍රධාන හේතුව වී ඇති බවත් විමර්ශන නිලධාර්යකු වැඩිදුරටත් පැවැසුවේය. විමර්ශන නිලධාරින් පවසන්නේ අත්අඩංගුවට ගත් සැකකරුගේ ගිණුමට රුපියල් 20,000ක් බැර වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් දුරකථන අංක ඔස්සේ විමර්ශනයක් සිදුකරන බවත්ය. එමෙන්ම උසස් පොලිස් නිලධාරියකු පැවැසුවේ ඝාතන කොන්ත්‍රාත්තුව රුපියල් ලක්ෂ 25ක් බවය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
(කීර්ති මෙන්ඩිස්)