
වැලිගම මිරිස්ස ප්‍රදේශයේ සුනන්දාරාම විහාරස්ථානයෙන් අස්ථානගත වූ අති පෞරාණික වෙස් මුහුණු හා පුස්කොළ පොත් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව හිමිනමක් සහ ගිහියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම මූලස්ථාන පොලිසිය නිවේදනය කර සිටී.
වැලිගම මිරිස්ස ප්‍රදේශයේ පිහිටි සුනන්දාරාම විහාරස්ථානයේ පුස්තකාල ගොඩනැගිල්ලේ තබා තිබූ ඓතිහාසික වටිනාකමකින් යුතු හා මිල කළ නොහැකි වෙස් මුහුණු සහ පුස්කොළ පොත් රැසක් අස්ථානගත වී ඇති බව මෙම සිද්ධියේදී අනාවරණය වී තිබේ.
විහාරස්ථානයෙන් සොරකම් කරන ලද වෙස් මුහුණු අතර රාක්ෂ, මනමේ, නාග ආදී විවිධ වෙස් මුහුණු ගණනාවක් තිබූ අතර, ඒවා කදුරු සහ විවිධ දැව වර්ග භාවිතයෙන් නිර්මාණය කර තිබූ බව වාර්තා වේ.
ප්‍රදේශවාසීන් සඳහන් කරන පරිදි, මෙම වෙස් මුහුණු වසරකට වරක් පවත්වනු ලබන මිරිස්ස ගම්මඩුව ශාන්ති කර්මය සඳහා පමණක් භාවිතා කරන ලද අතර, දේශීය හා විදේශීය සංචාරකයන් විශාල පිරිසක් මෙම වෙස් මුහුණු නැරඹීම සඳහා විහාරස්ථානයට පැමිණෙන බව ද දැක්වේ.
විහාරස්ථානයේ තිබූ වෙස් මුහුණු අස්ථානගත වීම සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් විසින් ජූනි 7 වන දින වැලිගම පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි. එම පැමිණිල්ල මත පදනම්ව, වැලිගම පොලිසියේ ස්ථානාධිපති සනත් කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇත.
පරීක්ෂණ වලදී හෙළි වූ තොරතුරු අනුව, විහාරස්ථානයේ පිරිවෙනේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කළ වයස අවුරුදු 24ක හිමිනමක් විසින් විහාරස්ථානයට අයත් පෞරාණික වෙස් මුහුණු සොරකම් කර, පෞරාණික භාණ්ඩ මිලදී ගන්නා අයෙකු වෙත විකුණා ඇති බව අනාවරණය වී තිබේ.
මෙම සොරකමට සම්බන්ධ වී ඇත්තේ අදාළ හිමිනමට අමතරව මාතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62ක පුද්ගලයෙකු සහ කැකනදුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක පුද්ගලයෙකු ද වන අතර,
ඔවුන් සැකකරුවන් ලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමේදී, සොරකම් කරන ලද වෙස් මුහුණුවලට අමතරව පෞරාණික හා මිල කළ නොහැකි පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක් ද සොයා ගැනීමට සමත් වී තිබේ.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඔවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval