sri-lankans-safety-comes-under-scrutiny-amid-israel-iran-conflict

විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරන පරිදි, ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ දෙරටේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තර සෝදිසියෙන් පසුවේ.
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතා සඳහන් කරන පරිදි, යම් ශ්‍රී ලාංකිකයෙකුට තම ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් ඇත්නම්, ඔවුන්ට අදාළ තානාපති කාර්යාල නිලධාරීන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව පවතී.



ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ දුෂ්කරතා පවතින මෙරට වෙසෙන ඔවුන්ගේ ඥාතීන් සිටී නම්, ඒ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසීම් කළ හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

මේ අතර, ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාර මාලාවේදී ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත.

ඔහු සඳහන් කළේ, ඊශ්‍රායලයේ බැට්යම් සහ රමාත් ගාන් ප්‍රදේශවලට ජූනි 15 වැනි දින අලුයම එල්ල වූ මිසයිල ප්‍රහාරවලින් ගොඩනැගිලිවලට සිදුවූ හානි හේතුවෙන් ඔවුන් දෙදෙනා සුළු තුවාල ලබා ඇති බවයි. තානාපතිවරයා ඔවුන් රැඳී සිටින ස්ථානවලට ගොස් ඔවුන්ගේ සුවදුක් විමසීමට ක්‍රියා කර තිබේ.

ඉරානය සහ ඊශ්‍රායලය අතර ප්‍රහාර හුවමාරුවීමෙන් දෙරටේම සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත්ව ඇත. ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් ළමුන් ඇතුළුව පුද්ගලයින් 128 දෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් 900ක් පමණ තුවාල ලබා ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා පවසයි. මියගිය අය අතර මාස දෙකක කුඩා දරුවෙකුද සිටින බව වාර්තා වී තිබේ.

අනෙක් අතට, ඉරානය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇති අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 380ක් පමණ වන බව ඊශ්‍රායල රජය ප්‍රකාශ කර ඇත. මධ්‍යම ඊශ්‍රායලයේ බැට් යම් ප්‍රදේශයට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් නිවාස සංකීර්ණ ගොඩනැගිල්ලකට දැඩි හානි සිදුව ඇත.

ගැටුම තවදුරටත් උත්සන්න වීමේ අවදානමක් පවතින අතර, ඊශ්‍රායලය විසින් ඉරානයේ අවි නිෂ්පාදන මධ්‍යස්ථාන ආශ්‍රිතව පදිංචිව සිටින සිවිල් වැසියන්ට එම ස්ථානවලින් ඉවත්වන ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. ඊශ්‍රායල ආරක්ෂක බලකාය, ඉරාන වැසියන්ට තම ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා එම පියවර ගන්නා ලෙසත්, නැවත දැනුම් දෙන තුරු එම ස්ථානවලට පැමිණීමෙන් වළකින ලෙසත් අවවාද කර ඇත.



විදේශ් විචාරකයින් පෙන්වා දෙන්නේ මෙම අනතුරු ඇඟවීම ඉරානයට තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමේ සංඥාවක් විය හැකි බවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ ප්‍රකාශ කළේ ඉරාන අයතුල්ලා අල්කමේනිගේ පාලන තන්ත්‍රයට අයත් සෑම ස්ථානයකටම හා සෑම ඉලක්කයකටම ප්‍රහාර එල්ල කරන බවයි.

කෙසේ වෙතත්, ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව පැවතුනහොත් තම ප්‍රතිප්‍රහාර තීව්‍ර කරන බව ඉරානය අනතුරු අඟවා ඇත, මෙය කලාපය තුළ තවදුරටත් උත්සන්න වන තත්ත්වයකට මඟ පාදනු ඇතැයි බියක් පවතී.

විදේශ කටයුතු අමාත්‍යාංශය, ඊශ්‍රායලයේ හා ඉරානයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරමින් සිටින අතර, යම් තත්ත්වයක් උද්ගත වුවහොත් වහාම ක්‍රියාත්මක විය හැකි පරිදි සූදානමින් සිටින බව අවධාරණය කර ඇත.