the-murder-of-suranga-buried-in-the-sands-of-time

 2010 වසරේ වෙසක් පුන් පොහොය දිනය නිමිති කරගෙන නිට්ටඹුව නගර මධ්‍යයේ ඉදිකෙරුණු විචිත්‍රවත් තොරණ දින තුනක් පුරා ප්‍රදර්ශනය කෙරුණේ නිට්ටඹුව නගර වැසියන්ගේ අසීමිත ප්‍රතිචාර මැදිනි. ස්වර්ණ හංස ජාතකය තේමා කරගෙන මෙම දැවැන්ත තොරණ නිර්මාණය කිරීමේ මූලිකත්වය ගෙන තිබුණේ නිට්ටඹුව ප්‍රදේශයේම

ජනප්‍රිය තරුණයකු වූ සුරංග පීරිස් නමැත්තාය. වෙසක් උත්සවය සැමරීම සඳහා මුළු නිට්ටඹුව නගරයම වර්ණවත් විදුලි බුබුළුවලින්ද ආලෝකවත් වී තිබුණේය. නගරයට පැමිණි කාගේත් සිත් සතන් වෙසක් සිරියෙන් උන්මාදව පහන් සිතින් බැබළෙන්නට විය.


දින තුනක නිමාවෙන් පසු නගරයේ දැල්වුණු විසිතුරු බල්බ ඉවත් කිරීමට තරුණ පිරිස් යුහුසුලු වූහ. ඒ ජුනි මස දෙවැනිදා අවසන් ගමනෙන් යෙදෙන නිට්ටඹුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ අවමඟුල් පෙරහරකට මංමාවත් සැරසීමට අවශ්‍යව තිබුණු නිසාය.

රාත්‍රි නවයට පමණ නිවෙසින් පිටව නගරයට පැමිණි සුරංග සෙසු තරුණයන් සමඟ එක්ව බල්බ ගැලවීමේ කටයුතුවල නියැළිණි. මිතුරන් සමඟ විහිළු තහළු කරමින් සිටි සුරංග මඳකට ඔවුන් සිටි තැනින් ඔබ්බට ගියේය. ඒ ඇසිල්ලෙන් විදුලි වේගයෙන් එතැනට පැමිණි යතුරුපැදියක සිටි අයෙක් එකවරම සුරංග වෙතට වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. වෙඩි වැදුණු සුරංග කපාලූ කෙසෙල් කඳක් මෙන් එතැනම පතිත විය. මිතුරන් ඔහු වහා වතුපිටිවල රෝහලට රැගෙන ගියද සුරංග බේරාගැනීමට කිසිවකුට හැකි වූයේ නැත. සුරංගගේ ඝාතනය නිට්ටඹුව නගරයම දැඩි කම්පනයක් ඇති කරවන්නට සමත් විය.


"සුරංගට වෙච්ච දේ අපට හිතාගන්නවත් බැහැ"

සුරංගගේ වියෝවත් සමඟ සැමගේ මුවෙන් පිටවූයේ මෙවැන්නක්ය. සුරංග වෙනුවෙන් කඳුළක් නූපන් කෙනෙක් නිට්ටඹුව නගරයේ නොසිටීම ඊට හේතුව විය. සුරංග ඒ තරමටම මුළු නිට්ටඹුව පුරාම ජනප්‍රිය චර්තයක් විය.


සුරංග පීරිස් හතර දෙනකුගෙන් යුත් පවුලක උපන් පළමු පිරිමි දරුවාය. නිට්ටඹුව රෝමානු කතෝලික විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ සුරංග පාසලට ආයුබෝවන් කී සැණින් එයාලංකා ගුවන් සමාගමේ රැකියාවක් සඳහා ගියේය. සුරංගට ජපානයේ රස්සාවක් ලැබුණේ ඔය අතරය. ජපානයට ගිය සුරංග වසර ගානක්ම එරට රැඳී සිටිමින් රැකියාව කළේය. ජපානයේදී සුරංග නොලද සැපසම්පතක් නොලද සතුටක් නැත. වසර හතකට පසු ලංකාවට පැමිණි ඔහු යළි ජපානයට යන්නට අදිමදි කළේය.


"අනේ අම්මේ මට ආයෙත් රට යන්න බැහැ. මම මෙහෙ ඉඳන් බිස්නස් එකක් කරනවා."


"සිය වැඩිමහල් පුතු තම දෑස් මානයේ සිටිනු දැකීමට ඔහුගේ මවද බෙහෙවින් කැමැති වූවාය. ඒ නිසා සුරංගගේ අදහසට ඇයද විරුද්ධ වූයේ නැත. කාලය ගෙවෙද්දී වාහන සහ ඉඩම් විකිණීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ සුරංග ජපානයේදී හරි හම්බකරගත් මුදල්ද ඊට යෙදෙව්වේය. ක්‍රමක්‍රමයෙන් ඔහු දියුණුවේ හිණිපෙත්තටම නැග්ගේය. 


වැඩි කලක් යන්නට මත්තෙන් නිට්ටඹුව වෙළෙඳ ව්‍යාපාරික සංගමයේ සභාපතිත්වයද හිමිකර ගැනීමට ඔහුට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස නිට්ටඹුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක තනතුරද ඔහුට ලැබුණේය. නගරයේ ජනප්‍රියම තරුණයකු වූ සුරංග ලොකු කුඩා කවුරුත් ඔහුට ආදරය කරන්නට වූයේ ඔහු තුළ තිබූ වටිනා ගතිගුණ නිසාය. එහෙත් සමහරුන් හිත් තුළ ඔහු කෙරෙහි ඊර්ෂ්‍යාවක්ද හටගත්තේය. ඒ කවදා හෝ සුරංග මුළු නිට්ටඹුවම ජයගනිතැයි යන සැකය නිසාය.


උපතින් කතෝලික ආගමිකයකු වුවද පල්ලියට මෙන්ම පන්සලටද ඔහු බෙහෙවින් ඇලුම් කළේය. නිට්ටඹුව නගරයේ වෙසක් තොරණක් ඉදිකිර්මට සුරංග මූලිකත්වය ගෙන කටයුතු කළේද ඒ නිසාය. එහෙත් කිසිවකුත් නොසිතූ ලෙස සුරංග නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මෙලොවින් සමුගෙන යෑමත් සමඟ ඔහුගේ අනාගත බලාපොරොත්තු සියල්ල සුනුවිසුනු වී ගියේය.




"මල්ලී ෆාදර් කෙනෙක් වෙන්න කැමැත්තෙන් හිටියේ. ඒ නිසා අපි ඒකට කැමැති වුණේ නැහැ. පස්සේ එයා රට යන්න කලින් කිව්වා හමුදාවට බැ‍ෙඳන්න ඕන කියලා, ඒ පාරත් අපි එයාට ඒ ගමන යන්න දුන්නේ නැහැ. පස්සේ අපිට හිතුණා මල්ලි අපිට හොරෙන්වත් හමුදාවට බැඳෙයි කියලා. මමයි තාත්තයි මල්ලිගේ උප්පැන්න සහතිකයත් හංගලා තිබ්බා. ඒත් අන්තිමට මගේ මල්ලි අපිව දාලා ගියා." සුරංගගේ වැඩිමහල් සොහොයුර්ය ඔහුගේ අවසන් කටයුතු සිදුවන අතරතුර එලෙස පවසා තිබුණාය.



"තාත්තා නැති ගෙදරට තාත්තා වුණේ මගේ රත්තරන් පුතා. අපේ පණත් හරි පුතාත් හරි. එයා ගේ දොර හදාගෙන කසාදයකුත් බැඳලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න හරිම ආසාවෙන් හිටියේ. ගමේම හැමෝම එයාට ආදරෙයි. මගේ පුතාව උදුරගත්ත එවුන්ට හොඳක් නම් වෙන්න එපා."


සුරංගගේ මව එදා හැඬු කඳුළෙන් කීවේය.


සුරංගගේ මරණය සැලවෙද්දී ඔහුගේ බාල සොහොයුරා සුසිත සිටියේද ජපානයේය. සිද්ධිය සැලවීමත් සමඟ සුසිතද සිය සොහොයුරාගේ අවසන් කටයුතු සඳහා මෙරටට පැමිණියේය. එහෙත් ඔහු වැඩි දිනයක් මෙරට රැඳී සිටිනු දැකීමට ඔහුගේ මව, සොහොයුරියන් ඇතුළු ඥාතීන් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ ඔහුගේ ජීවිතයටද හානියක් සිදු කරතැයි යන සැකය නිසාය. අවසානයේ සුරංගගේ අවසන් කටයුතු නිමවීමත් සමඟම සුසිතද යළි ජපානය බලා පිටත්ව ගියේය.


සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹුවේ නිට්ටඹුව පොලිසිය විසිනි.

පසුව එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර විය. සුරංගගේ ඝාතනය ගැන නොයකුත් කටකතා පැතිර ගියේය. පෞද්ගලික වුවමනාවක් නිසා සුරංග ඝාතනය කළ බව සමහරු කීහ. දේශපාලන කරුණක් මීට හේතු වන්නට ඇතැයි තවත් සමහරු සැක කළහ. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුරංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගත්තේය. ඔවුන්ට එරෙහිව නඩුවක්ද ගොනු කෙණි. එහෙත් සුරංගට සාධාරණයක් තවමත් ඉටු නොවුණු බව ඔහුගේ මව මෙන්ම ඔහුගේ බාල සොහොයුරාද කියති. සුරංගගේ මරණයෙන් පසු ජපානයට ගිය සුසිත තවමත් රැඳී සිටින්නේ ජපානයේමය. වසර 15ක් ගතවී ගියද ඔහු මෙරටට තවමත් පැමිණියේ නැත. ඔහුගේ මව පවසන්නේ තම පුතුට මෙරටට ඒමට තරම් වාතාවරණයක් තවමත් නොමැති බවය.

"මම අවුරුදු 15ක් තවම මගේ බාල පුතා සුසිතව ඇස් දෙකින් දැකලා නැහැ. ෆෝන් එකෙන් කතා කරනවා විතරයි. මගේ බාල පුතාව ලංකාවට ගෙන්න ගන්න ඕන. ඒත් මට බයයි. පුතාටත් කරදරයක් වෙයි කියලා” ඇය කියන්නීය. ඇගේ දෙනෙත්වලින් රූරා වැටෙන කඳුළු කැට මවු සෙනෙහසේ ඇති උදාරත්වය මොනවට විදහාපාන්නේය. “මට ඕනි මගේ බාල පුතාත් එක්ක ලංකාවේ ජීවත් වෙන්න. මම ගෙද ඉන්නේ තනියම. මම මැරෙනකම් සුසිත පුතාව මට සැබැහින් දැකගන්න බැර්වෙයිද?” ඇය විමසන්නීය.




වසර පහළොවක් පුරා හැඬු කඳුළෙන් සිටි ඇය පසුගියදා ඇගේ දුක වේදනාව ගැන පවසමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කළාය.


"ගම්පහ මැර දේශපාලනයේ ඉතිහාසය ගැන ඔබ හොඳින් දන්නවා ඇති...


2015 වසරේ ඔබතුමා ජපානයට ගිය අවස්ථාවේදී තගෝයා නගරයේ ඔබ ලැඟුම් ගෙන සිටි හෝටලය ඉදිරි පිටදී මගේ බාල පුතා සුසිත පීරිස් ඔබතුමා හමුවී ඒ බව සවිස්තරව කියන්න ඇති. සුරංග පුතාගේ

ඝාතනයට අදාළ අප සතු සියලුම සාක්ෂි මගේ පුතා එදා ඔබතුමාට දුන් බව ඔබට මතක ඇතැයි මම සිතමි. මගේ බාල පුතාට තවමත් ලංකාවට එන්න වාතාවරණයක් නැහැ. අපි හිටපු ජනාධිපතිගෙනුත් සහනයක් ඉල්ලුවා. ඒත් ලැබුණු සාධාරණයක් නැහැ. දැන් මම ඔබතුමාගෙනුත් සාධාරණයක් ඉල්ලනවා. ඒ සාධාරණය ඔබෙනුත් නොලැබුණොත් මට ජීවිත කාලයේදීම ඒ සාධාරණය ලබාදිය හැකි තවත් කෙනෙක් හමුවෙයි කියලා මම හිතන්නේ නැහැ.

අම්මෙක් විධියට මම ඔබගෙන් ඉල්ලන්නේ මගේ ඇස්දෙක පියවෙන්න කලින් මේ සාධාරණය ඉෂ්ට කරලා දෙන්න කියලයි” ඇය ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ එසේ සටහන් කර තිබුණාය.

නිට්ටඹුව පරණ පොළ පාරේ පදිංචි මියගිය සුරංගගේ මව අනුර කුමාර ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කිමෙන් පසු ඇය පවසන්නේ ජනාධිපතිවරයා ඊට සාර්ථක ප්‍රතිචාරයක් ලබාදී ඇති බවයි. ඒ අනුව ඉකුත් ජුනි මස 6 වැනිදා උදෑසන 10ට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පෙනී සිටින ලෙස ඇයට දැනුම්දීමක්ද කර තිබිණි. ඒ සිදු කරනු ලබන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට බව ඇය කියන්නීය. ඒ අනුව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ගිය ඇය එම ඒකකයට ප්‍රකාශයක් ලබාදී ඇති අතර වත්මන් ජනාධිපතිවරයාගේ නියෝගයකින්වත් තම සුරංග පුතුට සාධාරණයක් ඉටු වනු ඇතැයි හුදෙක් බලාපොරොත්තුවෙන් සිටින්නීය. 


එමෙන්ම ඇගේ එකම ආශාව මිය යන්නට කලියෙන් ජපානයේ රැඳී සිටින තම බාල පුතු සුසිත මෙරටට ගෙන්වා ගැනීම පමණි. ඔහුට මෙරට නිදහසේ ජීවත්වීමට හැකි වාතාවරණයක් ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටින්නීය. මේ සම්බන්ධයෙන් මේ වන විට ජපානයේ රැඳී සිටින ඇගේ බාල පුතු සුසිත්ද ඉල්ලා සිටින්නේ මෙවැන්නක්ය.


”අයියාගේ මරණයෙන් පස්සේ මම ජපානයට ආවා. එදායින් පස්සේ මම තවම ලංකාවට ගියේ නැහැ. ජනාධිපතිතුමා ජපානයට ආව වෙලාවේ අයියගේ මරණය සම්බන්ධ තොරතුරු සේරම මම ජනාධිපතිතුමාට දුන්නා.


මම ලංකාවට එන්න හරිම ආශාවෙන් ඉන්නේ. අවුරුදු පහළොවක් මම අම්මවයි, අක්කල දෙන්නවයි සියැසින් දැකලා නැහැ. දුරකථනයෙන් විතරයි අම්මා මට කතා කරන්නේ. මට ලංකාවට ගිහින් ජීවත් වෙන්න තරම් හොඳ වටපිටාවක් තවම නැහැ කියලයි මම හිතන්නේ. අපි අවුරුදු පහළොවක්ම ඒ සාධාරණය ඉල්ලා සිටියා. දැනුත් මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ ලංකාවට ගිහින් මට අම්මයි, අක්කලයිත් එක්ක නිදහසේ ජීවත් වන්න පුළුවන් වාතාවරණයක් හදලා දෙන්න කියලයි...”


සුරංගගේ බාල සොහොයුරා සුසිත ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් එලෙස ඉල්ලා සිටින්නේය. ඒ යුතුකම ඉෂ්ට වනු ඇතැයි සුරංගගේ මවගේත් සොහොයුරු සොහොයුරියන්ගේත් එකම බලාපොරොත්තුවය.


- කීර්ති මෙන්ඩිස්