කුරුණෑගල ගොකරැල්ල, පොල්ගොල්ල, දේවපාල විදුහලේ සිසුවියන් පිරිසක් සීනි බෝල වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් 2025 ජූනි 26 වන දින පෙරවරුවේ රෝහල්ගත කිරීමට සිදු වූ බව එම විදුහලේ විදුහල්පති දුනුකේදෙණියේ කුසලධම්ම හිමියෝ ප්‍රකාශ කළහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම සීනි බෝල මිලදී ගත් බව සැලකෙන වෙළඳසැල මුද්‍රා තබා ඇති අතර, විදුහල තාවකාලිකව වසා දමා ඇති බවද විදුහල්පතිවරයා සඳහන් කළේය.
විදුහල්පති හිමියන්ගේ ප්‍රකාශයට අනුව, පාසලේ උදෑසන රැස්වීමෙන් අනතුරුව සිසුවියන් කිහිප දෙනෙකුගේ සිරුරේ පළු මතු වී කැසීම් ඇති වූ අතර, පසුව දැරියන් පනස් දෙනෙකු පමණ එම තත්ත්වයට මුහුණ දුන් බැවින් ඔවුන් ගොකරැල්ල, පොල්ගොල්ල රෝහලට ඇතුළත් කිරීමට විදුහලේ පාලනාධිකාරිය කටයුතු කර ඇත.
6, 7 හා 8 ශ්‍රේණිවල සිසුවියන් මෙම ආසාත්මිකතාවට ගොදුරු වූ අතර,
රෝගී දරුවන් රෝහලට ගෙන ගිය ගුරුවරියන්ට මෙන්ම, ඔවුන්ට ප්‍රතිකාර කළ ගොකරැල්ල රෝහලේ වෛද්‍යවරයාට හා උපස්ථායකයින් දෙදෙනෙකුටද එම තත්ත්වය ඇති වූ බව විදුහල්පතිවරයා පැවසීය.
තවත් රෝගී සිසුවියන් පිරිසක් ගිලන් රථයක් මඟින් කුරුණෑගල රෝහලට රැගෙන ගොස් ඇතුළත් කර ඇති බවද විදුහල්පතිවරයා ප්‍රකාශ කළේය. රෝගී දරුවන් ආහාරයට ගත් සැකසහිත සීනි බෝල ඇතැම් දරුවන්ගේ නිල ඇඳුමේ සාක්කුවල තිබී සොයාගෙන ඇත.
විදුහල්පති හිමියන් වැඩිදුරටත් මෙසේ පැවසූහ: "ඇසෙම්බ්ලිය තිබුණේ එළියෙ. ළමයි කසන්න ගත්තාම අපි හිතුවෙ දළඹුවො කියලා. අපි පස්සෙ ඇහුවා මොනව හරි කෑවද කියල. ටොෆි කෑවා කිව්වා. ඒවා සීනිබෝල වගේ පැකට්ටුවක්. මුතු බෙල්ලන් හැඩයේ. එක ළමයකුගෙ සාක්කුවකත් තිබුණා. ඒ පන්ති කාමරෙන් පහළට එද්දි තව කණ්ඩායමක් අසනීප වෙලා. මේ විදිහට ළමයි 50ක් විතර. 6, 7, 8 පන්තිවල. ඒ ළමයි ගෙනියපු ගුරුවරියොත් අසනීප වුණා. රෝහලේ ඇටෙන්ඩන්ලා දෙන්නෙක් අසනීප වුණා. බෙහෙත් කළ වෛද්‍යවරයාත් අසනීප වුණා. ආණ්ඩුකාරතුමා මැදිහත් වෙලා කුරුණෑගලින් ගිලන් රථයක් එව්වා.
පොල්ගොල්ල රෝහලේ අය ටිකට් කපල යැව්වා. කුරුණෑගල යැව්ව අයගෙ තත්ත්වයත් සුව අතට හැරිලා කියනවා. ළඟ වෙළෙඳසලකින් අරන් තියෙන්නේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාර්න් ඒවා රස පක්ෂකට යවන්න ගත්තා. හෙට (27දා) පාසල පැවැත්වෙන්නේ නෑ. හෙට නිවාඩුයි."
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ පොල්ගොල්ල, දේවපාල විද්‍යාලයේ දැරියන් 26 දෙනෙකු සහ ගුරුවරියන් තිදෙනෙකු ටොෆි වර්ගයක් ආහාරයට ගැනීමෙන් ඇති වූ ආසාදන තත්ත්වයක් නිසා හුස්ම ගැනීමේ අපහසුතා සහ කැසීම් හේතුවෙන් රෝහල්ගත කර ඇති බවයි.
ඊයේ සවස 5.00ට ලැබුණු වාර්තාවලට අනුව, සිසුවියන් හත් දෙනෙකු තවමත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන අතර, සෞඛ්‍ය බලධාරීන් විසින් එම ආහාර නියැදි රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව වාර්තා වේ. තවද, 2025 ජූනි 27 වන දින පාසල වසා දමා ඇති බවද දැනගන්නට ලැබී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval