
වසරකට පමණ ඉහතදී ගෙල වැලලාගෙන අපවත් වූ බවට වාර්තා වූ මිහින්තලේ, කැලෑරඹෑව විහාරස්ථානයේ විහාරාධිපති හිමිනමකගේ මෘත දේහය ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙස අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් පී. එච්. ඩබ්. ඩී. එල්. සමරසිංහ මහත්මිය අද (30) මිහින්තලේ පොලිසියට නියෝග කර තිබේ.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, අදාළ මරණය සම්බන්ධයෙන් මරණ සහතිකය නිකුත් කිරීමේ අධිකරණ ක්‍රියාවලියේදී,
අස්වාභාවික මරණයක් වුවද පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු නොකර දේහය භූමදානය කර ඇති බවට කරුණු අනාවරණය වීම හේතුවෙනි. මෙසේ අපවත් වී ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවූ කලත්තෑවේ පියදස්සි නැමැති හිමිනමයි. උන්වහන්සේ 2023 වසරේ ජූලි මස 22 වන දින විහාරස්ථානය තුළදී ගෙල වැලලාගෙන අපවත් වී ඇති බවට එකල පොලිසියට වාර්තා වී තිබිණි.
අධිකරණ නියෝගයට අනුව, මෘත දේහය ගොඩ ගැනීමේ කටයුතු අද (30) දින කැලෑරඹෑව විහාරස්ථානයේ ආදාහන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත. මෙම ක්‍රියාවලිය අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් පී. එච්. ඩබ්. ඩී. එල්. සමරසිංහ මහත්මියගේ සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මිහින්තලේ පොලිසියේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval