four-mps-including-kottahachchi-chamindrani-stuck-in-a-lift

 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සවිකර ඇති විදුලි සෝපානයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු මෑතකදී සිරවීමේ සිදුවීමක් වාර්තා වේ.



මෙලෙස අපහසුතාවට පත්ව ඇත්තේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, චතුර ගලප්පත්ති සහ ජාතික ජන බලවේගය නියෝජනය කරන නීතිඥ නිලන්ති කොට්ටහච්චි යන මහත්ම මහත්මීන්ය. සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන අධ්‍යයන පාඨමාලාවකට සහභාගී වීම සඳහා පැමිණි අවස්ථාවකදී ඔවුන් මෙම සිදුවීමට මුහුණ දී තිබේ.



අදාළ අධ්‍යයන කටයුතු සඳහා වෙන්කළ ශාලාවේ සිට පහළ මාලය වෙත පැමිණීම සඳහා විදුලි සෝපානය භාවිත කිරීමේදී එය අනපේක්ෂිත ලෙස අතරමග නතර වී ඇත. පසුව සම්මන්ත්‍රණ ශාලාවේ කාර්ය මණ්ඩලය මැදිහත් වී මන්ත්‍රීවරුන් පිරිස මුදාගැනීමට කටයුතු කර තිබිණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා තමන් ඇතුළු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු විදුලි සෝපානයේ සිරවී සිටි බවත්, කාර්ය මණ්ඩලයේ මැදිහත්වීමෙන් ඉන් පිටතට පැමිණි බවත් තහවුරු කළේය. මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රිනී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය ප්‍රකාශ කළේ, මෙම හදිසි සිදුවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට ලක්වූ බවයි.



මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස සහභාගි වන සති 14ක් පුරා පැවැත්වෙන අධ්‍යයන වැඩමුළුව සඳහා වෙනත් විද්‍යාර්ථීන් පිරිසක් ද එක්ව සිටින අතර, එහි තවත් සැසියක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.