ඊශ්‍රායලය සහ ඉරානය අතර වර්ධනය වන ආරවුල් තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලය වෙත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර සිටී. මෙම තීරණය ගෙන ඇත්තේ එරට සිටින ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව ප්‍රමුඛතාවයට ගනිමිනි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පෙරේදා (20) දින කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම නිවේදනය සිදු කළේය. මෙහිදී ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව ගැටලු මතුවී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
"අනපේක්ෂිත විදිහට ජාත්‍යන්තර දේශපාලනයේ ඇතිවුණ තත්ත්වයක් මත ඊශ්‍රායලය හා ඉරානය අතර අනවබෝධයක් සහ යම්කිසි ආරක්ෂක ගැටළුවක් ඇතිවෙලා තිබෙනවා. එහිදී අපේ ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගේ මතු ආරක්ෂාව සහ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් අපි ඉතා යුහුසුළුව ක්‍රියාත්මක වුණා," යනුවෙන් සභාපතිවරයා ප්‍රකාශ කළේය.
සභාපතිවරයා තවදුරටත් කරුණු දක්වමින්, මෙම අනාරක්ෂිත තත්ත්වය නිර්මාණය වී දින 8ක් පමණ ගතවී ඇති බවත්, මේ කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ විදේශ කටයුතු, විදේශ රැකියා අමාත්‍යාංශය ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ තත්ත්වය පිළිබඳව සමීප අධීක්ෂණයක යෙදී සිටින බව ප්‍රකාශ කළේය.
"අපගේ විගමනික ප්‍රජාවගේ මතු ආරක්ෂාව ඉතා වැදගත්ව සලකන කාලයක අපි ඊශ්‍රායල් රාජ්‍යය බලා විගමනිකයකු ගමන් කිරීමේ ක්‍රියාවලිය තාවකාලිකව නතරකර තිබෙනවා. අපගේ විගමනික ශ්‍රමිකයන්ගේ මතු ආරක්ෂාව සහතික වන යම් දිනයක් දක්වා මෙම තාවකාලික නතරකිරීම ක්‍රියාත්මක වනවා," යනුවෙන් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික විගමනිකයන්ට කිසියම් ගැටලුවක් හෝ අනතුරක් සිදුවුවහොත්, ඒ පිළිබඳව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කර නිසි ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය. දැනටමත් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් පස්දෙනෙකු පමණ සුළු තුවාල ලබා ඇති අතර, ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට සහ පහසුකම් සැපයීමට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ක්‍රියාත්මක වී ඇත.
"නිතරම තානාපතිතුමාගේ මුහුණුපොත හරහා සමාජය දැනුවත් කරමින් ඒ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැහැදිළිව, නිසි අවබෝධයකින්,
නිසි විධානයකින් හා නිසි කාර්යක්ෂමතාවයකින් යුතුව වැඩකරමින් සිටිනවා," යනුවෙන් සභාපතිවරයා පැවසීය.
ඊශ්‍රායලයේ රැකියා සඳහා පසුගිය කාලය පුරාවටම විශාල ඉල්ලුමක් තිබූ බවත්, මෙම අර්බුදකාරී තත්ත්වය ඉක්මනින් සමනය වනු ඇතැයි අපේක්ෂා කරන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය. "අපි උත්සහ කරනවා ඉතාමත්ම නුදුරු දිනකදී එම තත්ත්වය වෙනස් වීමෙන් අපට පරණ සුපුරුදු ජවයෙන් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබෙයි කියලා," යනුවෙන් ඔහු සිය ප්‍රකාශය අවසන් කළේය.
මෙම තීරණය ගැනීමට ප්‍රධාන හේතුව ලෙස ඊශ්‍රායලය සහ ඉරානය අතර උද්ගත වී ඇති ආරක්ෂක තර්ජන දැක්විය හැකිය. මේ වන විට ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමු වීමට සැලසුම් කර සිටි බොහෝ ශ්‍රී ලාංකිකයන්ට තම සැලසුම් වෙනස් කිරීමට සිදුවී ඇත.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය ඊශ්‍රායලයේ පවතින තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් සිටින අතර, එරට සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටී. ආරක්ෂිත තත්ත්වය තහවුරු වූ පසු ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කරනු ඇත.
ශ්‍රී ලංකාවේ රැකියා අපේක්ෂිතයන් මෙන්ම දැනටමත් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ පවුල් සඳහා මෙම තත්ත්වය පිළිබඳ නිරන්තර යාවත්කාලීන තොරතුරු ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරන අතර, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය හරහා දැනුවත් කිරීම් සිදු කරයි.
විදේශ රැකියා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස සැලකෙන ඊශ්‍රායලයේ ඇතිවී තිබෙන මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම් කෙරෙහිද යම් බලපෑමක් ඇති කරනු ඇතැයි විශේෂඥයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව ප්‍රමුඛතම කාරණය බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval