misappropriation-of-funds-in-the-veras-river-project-corporation-deputy-general-manager-arrested

කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ආරම්භ කරන ලද වේරැස් ගඟ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මුදල් වැය කිරීම සම්බන්ධ චෝදනා ලැබූ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජිත් ප්‍රියත් මුදුගල මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (17) නියෝග කර ඇත.



අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු රුපියල් ලක්ෂ 276ක පාඩුවක් රජයට සිදුකර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ආරම්භ කරන ලද වේරැස් ගඟ ව්‍යාපෘතියේ මූලික අදියරේ උත්සව කටයුතු සඳහා නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මෙම මුදල් වැය කර ඇති බව අල්ලස් කොමිසම විසින් අධිකරණයට වාර්තා කර ඇත.

අධිකරණ නියෝග අනුව, සැකකරුට රුපියල් මිලියන 5 බැගින් ශරීර ඇප දෙකක් යටතේ ඇප ලබාදී ඇති අතර, ඔහුගේ විදේශ ගමන් තහනම් කර ඇත. 

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ තොරතුරු අනුව, වේරැස් ගඟ ව්‍යාපෘතියේ මූලික අදියර සඳහා විවෘත කිරීමේ උත්සවයක් පවත්වා ඇත. එම උත්සවයේ සියලු කළමනාකරණ කටයුතු "ෂෝටයිම් එන්ටර්ටේට්මන්ට්" නම් ආයතනයකට භාර දී ඇති අතර,

එම ආයතනය ගායක භාතිය ජයකොඩි ට අයත් බව වාර්තා වී ඇත.

විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූ පරිදි, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපතිවරයා විසින් එම උත්සවය ෂෝටවුට් එන්ටර්ටේට්මන්ට් ආයතනයට භාරදී ඇත්තේ එම ආයතනයට වාසිදායක වන ආකාරයට බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

තවද, මෙම උත්සවය සඳහා මුදල් වැය කිරීමේදී නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කර නොමැති අතර, සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියද ලබාගෙන නොමැති බව වාර්තා වී ඇත. අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට පැවසූ පරිදි, සැකකාර හිටපු සභාපතිවරයා එම උත්සවය වෙනුවෙන් රුපියල් ලක්ෂ 275ක් වැය කර රජයට පාඩුවක් සිදුකර ඇත.

අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති සැකකාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා එම ව්‍යාපෘතිය සඳහා මුදල් වෙන් කිරීමට නිර්දේශ කර ඇති බව අල්ලස් කොමිසම පවසා ඇත. ඒ අනුව, අල්ලස් හෝ දූෂණ පනතේ 70 වගන්තිය ප්‍රකාරව දූෂණය යන චෝදනාව යටතේ වරදක් කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට පෙන්වා දී ඇත.



සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර, පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් මෙහෙයවන ලදී. 

දෙපාර්ශවයේම කරුණු සලකා බැලීමෙන් අනතුරුව, මහෙස්ත්‍රාත්වරිය සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකෙරෙමින් පවතින අතර, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් සිද්ධියට සම්බන්ධ අනෙකුත් පාර්ශවයන් පිළිබඳවද විමර්ශන පවත්වමින් සිටින බව වාර්තා වේ.