numerous-calls-about-a-srilankan-flight-coming-from-indonesia-being-hijacked

වැල්ලවත්ත පොලිසිය විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට, ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමට, කටුනායක ගුවන්තොටුපොළට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට දුරකථන ඇමතුම් ලබාදී ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් යානයක් පැහැර ගැනීමට ලක්කරන බවට අසත්‍ය තොරතුරක් ලබාදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

සැකකරු විසින් ඊයේ දින පුරා 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට, ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමට, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන පරිදි මර්මස්ථාන රැසකට ඇමතුම් ලබාදෙමින් ඉන්දුනීසියාවේ සිට පැමිණෙන ලින්කන් එයාර් ලයින් සමාගමට අයත් ගුවන්යානයක් කිසියම් පිරිසක් විසින් පැහැරගැනීමට ලක්කරන බවට තොරතුරු ලබාදී ඇත. මෙහිදී ඔහු විසින් සංකේත අංක කිහිපයක්ද සඳහන් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.



පොලිසිය විසින් සැකකරු සන්තකයේ තිබී ටැබ් යන්ත්‍රයක්, අයිෆෝන් දුරකථනයක්, පෝටබල් වයිෆයි රවුටරයක්, හෑන්ඩ් ෆ්‍රි උපකරණ යුගලක් සහ මුදල් හුවමාරු කළ බැංකු රිසිට්පත් රැසක් සොයාගෙන භාරයට ගෙන තිබේ.

ටැබ් යන්ත්‍රය පරීක්ෂා කිරීමේදී එහි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයන්ගේ ඡායාරූප, එල්.ටී.ටී.ඊ. ධජ, රාජ්‍ය නායකයන්ගේ ඡායාරූප, ගුවන්තොටුපළ ඡායාරූප සහ ගුවන්යානා ඡායාරූප රැසක් අඩංගු වී ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.



සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂක අංශය වෙත දැනුම්වත් කිරීමෙන් අනතුරුව මෙම ඇමතුම් ලබාදෙන පුද්ගලයා වැල්ලවත්ත පොලිස් වසමේ සිට ක්‍රියා කරන බවට අනාවරණය වී තිබේ. ඒ අනුව වැල්ලවත්ත පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහදවල මහතා සහ උප පොලිස් පරීක්ෂක හේෂාන් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් කඩිනමින් දුරකථන විශ්ලේෂණ වාර්තා සහ කුලුනු වාර්තා ඔස්සේ විමර්ශන සිදුකර තිබේ.

මෙම සැකකරු වැල්ලවත්ත පොලිස් වසමේ 33 වැනි පටුමඟේ රැඳී සිටින බවට අනාවරණය කරගැනීමෙන් අනතුරුව පොලිසිය විසින් සිදුකරන ලද වැඩිදුර විමර්ශනවලදී එම ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිටි අවස්ථාවේ එහි දොරකඩා සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබේ.