ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යාංශය මඟින් දෙන තොරතුරු අනුව කටයුතු කරන්නැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා එරට සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඊශ්‍රායලයේ සේවය කරන සියලු විදේශ සේවකයන්ට ආරක්ෂිත තොරතුරු හා මිසයිල ප්‍රහාර පිළිබඳ පූර්ව තොරතුරු ඇතුළත් ආරක්ෂක අමාත්‍යාංශයේ තොරතුරු App තම ජංගම දුරකතනයට ඇතුළත් කර ගන්නා ලෙස හා
ඔවුන් යාවත්කාලීන කරන උපදෙස් අනුව කටයුතු කරන මෙන් PIBA ආයතනය (Population and Immigration Authority) දැනුම් දී තිබෙන බව ද තානාපතිවරයා සඳහන් කරයි.
ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් හතර දෙනාගේ තත්ත්වය යහපත් බව සඳහන් කරන නිමල් බණ්ඩාර මහතා නැවත ඔවුන්ට සේවය කිරීමේ අවස්ථාව දින කිහිපයකින් ලැබෙනු ඇති බව ද ඊට අමතර තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු පදිංචි ස්ථාන පිපිරීමට ලක්වී තිබෙන බව ද කියා සිටියි.
ඔවුනට අලුත් නවාතැන් දීමට ඔවුන් සේවය කරන සමාගම කටයුතු කර තිබෙන අතර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන කාර්ය මණ්ඩල සාමාජිකයකු පදිංචි නිවාසයකට ද හානි සිදුවී තිබෙන බව ද
ඇයට අනතුරක් නොමැති බව ද හෙතෙම පවසයි.
හදිසි අවශ්‍යතා මත ඊශ්‍රායලයෙන් පිටත්ව යන පිරිස ඊශ්‍රායලයේ දකුණුදිග ප්‍රධාන නගරය වන Eilat නගරය හරහා ජෝර්දානය හා ඊජිප්තුව වෙත ගමන් කර කයිරෝ හා අම්මාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා පිටත්වීමට හැකියාව තිබෙන අතර ඊශ්‍රායලයට ගුවන්යානා ගමන් නොකිරීම හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉල්ලා ඇති ගුවන් ගමන් බලපත් ලැබීම ප්‍රමාද විය හැකි බව ද එහෙත් අදාළ රාජ්‍යතාන්ත්‍රික ගමන් මඟ ඊජිප්තුව හරහා DHL සමාගම් මඟින් ගැනීමට සාකච්ඡා කරන ලද බව ද ඒ මහතා කියයි.
පවතින ප්‍රවාහන ගැටලු හේතුවෙන් සමහර ප්‍රදේශවල යම් යම් ආහාරවල හිඟතාවක් ඇති විය හැකි අතර ඒ හේතුවෙන් අවම වශයෙන් සතියකටවත් අවශ්‍ය ආහාර ළඟ තබා ගන්නා ලෙස උපදෙස් දී තිබේ.
ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය ඊශ්‍රායලයට සිදුවූ ප්‍රහාර පිළිබඳ ප්‍රමාණය ඉක්මවා තොරතුරු විකාශනය කිරීම් හේතුවෙන් සමහර ශ්‍රී ලාංකිකයන්ගේ ලංකාවේ සිටින සමීපතමයන් අනවශ්‍ය ලෙස කලබල වී ඇති අතර ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරන අතරම ශ්‍රී ලාංකිකයන් පිළිබඳ දවස පුරා අවධානයෙන් පසුවන බව ද තානාපතිවරයා කියයි.
ශ්‍රී ලංකාවට ගොස් සිටින පිරිසට නැවත ඊශ්‍රායලයට පැමිණීමට ඊජිප්තු හරහා ගමන් කරන ලෙස උපදෙස් දී තිබේ. ඔවුනට ඊජිප්තුව සඳහා අවශ්‍ය වීසා ගැනීමට තානාපති කාර්යාලයේ සහාය ලබාගත හැකිය.
Comments
Post a Comment
Your comment will be visible after approval