
රංගිරි දඹුල්ල සංඝ සභාවට සම්බන්ධ භික්ෂුණියක් ලෙස උපසම්පදාව ලබා සිටින වැලිමඩ ධම්මදින්නා නමැති භික්ෂුණියට 'භික්ෂුණී පදනම' යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම මඟින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය 'භික්ෂුණී පදනම' යටතේ ඇයට ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට වහාම පියවර ගන්නා ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේය.
වැලිමඩ ධම්මදින්නා නමැති භික්ෂුණිය සහ රංගිරි දඹුල්ල සංඝ සභාවේ මහානායක ඉනාමලුවේ සුමංගල හිමියන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක විභාගය අවසන් කර එහි බෙදුණු තීන්දුව ප්‍රකාශ කරමින් මෙම නියෝගය කරන ලදි.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ එකඟත්වයෙන් යුතු බහුතර නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.
රංගිරි දඹුල්ල සංඝ සභාව යටතේ 1998 වසරේ පටන් භික්ෂුණී ශාසනයක් ක්‍රියාත්මක වන අතර ඒ යටතේ භික්ෂුණීන් තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට පෙත්සම් විභාගයේදී අනාවරණය වූ බව තීන්දුවෙහි සඳහන් වේ. එම භික්ෂුණී ශාසනයට අයත් භික්ෂුණීන් දිවයින පුරා පිහිටි භික්‍ෂුණී ආරාම 223ක වාසය කරන බව ද පෙත්සම්කාර භික්ෂුණිය එම සංඝ සභාව යටතේ උපසම්පන්නභාවය ලැබූ බව ද සඳහන් වේ. ඒ අනුව 'භික්ෂුණී පදනම' යටතේ ජාතික හැඳුනුම්පතක් ගැනීම සඳහා 2013 වසරේ මැයි මස 31 වැනිදා පෙත්සම්කාර භික්ෂුණිය ඉදිරිපත් කළ අයදුම්පත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රතික්ෂේප කළ බව පෙත්සම් විභාගයේදී අනාවරණය විය.
අවශ්‍ය නම් 'සිල් මාතා' පදනම යටතේ හැඳුනුම්පතක් නිකුත් කළ හැකි බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිඛිතව දැනුම්දී තිබූ බවද සඳහන් කෙරිණි.
නීතිමය අර්ථ දැක්වීමට අනුව 'භික්ෂුන්' යනුවෙන් සඳහන් කරන විට භික්ෂුණියන් ද ඊට ඇතුළත් විය යුතු බව ද එය පිළිගත් පොදු නීතිමය සිද්ධාන්තයක් බව ද පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරයා පෙත්සම් විභාගයේදී පෙන්වාදුන් බව එම තීන්දුවෙහි සඳහන් වේ.
එසේම රංගිරි දඹුල්ල සංඝ සභාව යටතේ භික්ෂුණී ශාසනයක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ක්‍රියාවට කිසිදු පාර්ශ්වයක් විරෝධය පළ කර නැති බවද එහි දැක්වේ.
රංගිරි දඹුල්ල සංඝ සභාව රජය මඟින් අනුමත කර නොතිබීම සහ 'භික්ෂුණීන්,' බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ විෂය පථයට අදාළ නොවීම යන හේතූන් මත එලෙස ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා නඩු විභාගයේදී කරුණු ඉදිරිපත් කළ බව නඩු තීන්දුවෙහි සඳහන් වේ.
එම කරුණ පිළිගත නොහැකි බවත් පෙත්සම්කාරිය භික්ෂුවක වූවා නම් මෙවැනි ගැටලුවක් ඇති නොවනු ඇති බවත් කාන්තාවක වීම නිසා මෙවැනි නීතිමය බාධකවලට මුහුණදීමට සිදුව ඇති අතර එය නීතිය ඉදිරියේ 'වෙනස් කොට' සැලකීමක් බවත් අධිකරණයේ මතය බව නඩු තීන්දුවේ සඳහන් වේ. භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමේ පූර්ණ බලය ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ට පැවරී ඇති බවද නඩු තීන්දුවෙහි දැක්වෙයි.
මෙම භික්ෂුණී ශාසනය බෞද්ධ ක්‍රමවේදයට පටහැණි නම් ඊට එරෙහිව රංගිරි දඹුල්ල සංඝ සභාවේ මහානායක හිමියන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇති නමුත් මෙතෙක් එවැන්නක් සිදු වී නොතිබීම සම්බන්ධයෙන් විනිසුරු මඬුල්ලේ අවධානය යොමුව තිබේ. ඒ අනුව පෙත්සම්කාරියට 'භික්ෂුණී පදනම' යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් අනාවරණය නොවන බවට තීරණය කරන බව තීන්දුවෙහි සඳහන් වේ.
පෙත්සම්කාරියට භික්ෂුණී පදනම යටතේ ජාතික හැඳුම්පතක් නිකුත් කිරීමේ තීරණය යුක්තිසහගත නොවන බවට විනිසුරු මඬුල්ල තීරණය කර ඇත.
ඒ අනුව වගඋත්තරකාර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති 'නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය' උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන බව නඩු තීන්දුවෙහි සඳහන් වේ.
මෙම පෙත්සම් සම්බන්ධයෙන් වන සුළුතර තීන්දුව ලබා දෙමින් විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන මහතා සඳහන් කර ඇත්තේ අදාළ ජාතික හැඳුනුම්පත නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම මඟින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බවයි. ඒ අනුව පෙත්සම ප්‍රතික්ෂේප කරන බව එහි සඳහන් වේ. ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval