තලංගම ප්‍රදේශයේ ඉඩම් තුනක් බලෙන් අත්පත් කරගැනීම සඳහා සංවිධානාත්මක කල්ලියකට ව්‍යාජ ලේඛන සකසා ආධාර අනුබල දුන් බව කියන හෝමාගම ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ප්‍රධාන ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා පෙරේදා (24) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් නිවේදනය කර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කරන ලද විමර්ශනවලට අනුව, දැනට විදේශ රටක සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලලිත් කන්නන්ගර නැමැත්තාගේ මෙහෙයවීම මත එම සංවිධානාත්මක කල්ලිය එම ඉඩම් බලෙන් අත්පත් කරගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
තලංගම ප්‍රදේශයේ දෙදෙනකු විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව, කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි. එම විමර්ශනවලදී අනාවරණය වූයේ, සැකකරුවන් පිරිසක් අදාළ ඉඩම්වලට ඇතුළු වී එහි කුඩා පැල්පත් ඉදිකර, සූර්ය කෝෂ මාර්ගයෙන් විදුලිය ලබාගෙන, එම ස්ථානවල පවුල් පදිංචි කරවා තිබූ බවයි.
ඉන් අනතුරුව, මෙම සැකකරුවන් හෝමාගම ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ විවිධ නිලධාරීන් සම්බන්ධ කරගෙන, පත්තිරු ඇතුළු අවශ්‍ය ලියකියවිලි සියල්ල ව්‍යාජ ලෙස සකස් කරගෙන ඇති බව පොලිසිය පවසයි. මේ හරහා සැකකරුවන් එම ඉඩම්වලට අයිතිවාසිකම් කියමින්, සැබෑ ඉඩම් හිමිකරුවන් සමග ආරවුල් ඇති කරගෙන තිබූ බවද අනාවරණය වී තිබේ.
මෙම වංචාව සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන දිගටම සිදු කරන බවත්, අත්අඩංගුවට ගත් ප්‍රධාන ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ උපදෙස් පරිදි, ස්ථානාධිපති විජේතුංග, උපපොලිස් පරීක්ෂක අතුල ජානක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටිති.
Comments
Post a Comment
Your comment will be visible after approval