ප්‍රවීණ දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇති අතර, මියයන විට ඔහුගේ වයස අවුරුදු 82කි.
දශක ගණනාවක දේශපාලන දිවියක් සතු ගාමිණී ලොකුගේ මහතා, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ඇමති ධුර රැසක් හොබවා ඇත.
1943 වසරේ මැයි මස 08 වන දින උපත ලැබූ ඒ මහතා, 1960 දී එක්සත් ජාතික පක්ෂය හරහා දේශපාලන ක්ෂේත්‍රයට පිවිසියේය. 1983 වසරේ පැවති අතුරු මැතිවරණයේදී කැස්බෑව ආසනය සඳහා තරග කර, ඉහළම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ඔහු ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය.
1989 දී පිහිටුවන ලද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ සංචාරක අමාත්‍යවරයා ලෙස පළමු වරට කැබිනට් වගකීමක් දැරූ ලොකුගේ මහතා, 2006 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්වෙමින් දේශපාලන කරළියේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළේය. අනතුරුව, 2007 ජනවාරි මාසයේදී මහින්ද රාජපක්ෂ රජය යටතේ ක්‍රීඩා හා පොදු විනෝදාස්වාද අමාත්‍යවරයා ලෙස ඔහු පත් කරන ලදී.
2010 සහ 2015 මහ මැතිවරණ වලදී ද කැස්බෑව ආසනය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළ ඒ මහතා, 2019 නොවැම්බර් මස නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, 2020 අගෝස්තු මාසයේදී ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙසත් පත්වීම් ලැබීය.
Comments
Post a Comment
Your comment will be visible after approval