fuel-prices-rise

 ජූලි මාසය සඳහා වන මාසික ඉන්ධන මිල සංශෝධනය අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත් කර තිබේ. මෙම නව මිල සූත්‍රයට අනුව ඉන්ධන වර්ග කිහිපයකම මිල ගණන් ඉහළ දැමීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇත.





ඒ අනුව, මෙරට බහුලවම භාවිත කෙරෙන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ නංවා ඇති අතර, රුපියල් 293ක්ව පැවති එහි නව මිල රුපියල් 305ක් ලෙස දැක්වේ. සාමාන්‍ය ඩීසල් (සුදු ඩීසල්) ලීටරයක් රුපියල් 15කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 274 සිට රුපියල් 289 දක්වා වැඩි වී තිබේ. මීට අමතරව, භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 7කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල සටහන් වන්නේ රුපියල් 185ක් ලෙසය.

කෙසේ වෙතත්, ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් මිල ගණන් වල කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර, එම ඉන්ධන වර්ග පෙර පැවති මිල ගණන් යටතේම අලෙවි කෙරෙනු ඇත. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 341ක් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 325ක් ලෙස නොවෙනස්ව පවතී.