a-doctor-files-a-complaint-with-the-human-rights-commission-alleging-that-a-transfer-request-was-ignored

 හදිසි අනතුරකින් පසුව ඇතිවූ ශාරීරික අපහසුතාවක් හේතුවෙන් ඉල්ලා සිටි තාවකාලික ස්ථාන මාරුවීමක් ලබා නොදීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි පවසමින් පළමු ශ්‍රේණියේ වෛද්‍යවරියක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත. මෙම පැමිණිල්ල මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට සහ මාම්පිටිය රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරිවරයාට එරෙහිව යොමු කර තිබේ.





පසුගිය පෙබරවාරි මාසයේ රාජකාරියට වාර්තා කරමින් සිටියදී මුහුණ දුන් අනතුරක් නිසා පාදයේ ආබාධයකට ලක්වූ තමන්ට, මේ වනවිට කිහිලිකරු ආධාරයෙන් තොරව ගමන් කිරීමට නොහැකි බව එම වෛද්‍යවරිය සිය පැමිණිල්ල මගින් පෙන්වා දෙයි. මෙම තත්ත්වය යටතේ මාම්පිටිය රෝහලේ දෙවන මහලේ පවත්වාගෙන යන වාට්ටුව වෙත ගොස් රෝගීන් පරීක්ෂා කිරීම තමාට ප්‍රායෝගිකව අපහසු වී ඇති බවද ඇය සඳහන් කර ඇත.

වෛද්‍යවරියගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යාංශය, ඇයට සුදුසු ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස පසුගිය මාර්තු 21 වන දින නිර්දේශ කර තිබුණද, මාස කිහිපයක් ගතවීත් අදාළ බලධාරීන් එය ක්‍රියාත්මක කර නොමැත.

අමාත්‍යාංශ නියෝග නොසලකා හරිමින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සහ රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරිවරයා කටයුතු කිරීම හේතුවෙන්, තමන්ට පසුගිය මැයි 06 සිට 24 වනදා දක්වා කාලය තුළ අසනීප නිවාඩු ලබා ගැනීමට පවා සිදුවූ බව වෛද්‍යවරිය මානව හිමිකම් කොමිසමට දන්වා තිබේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් කළ විමසීමකදී මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය සේනක තලගල මහතා ප්‍රකාශ කළේ, මාම්පිටිය රෝහල තුළ සාමාන්‍ය රෝගී ප්‍රතිකාර ඒකකයට අමතරව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක්ද ක්‍රියාත්මක වන බවයි.

දැනට පවතින සීමිත වෛද්‍ය කාර්ය මණ්ඩලය යටතේ, අදාළ වෛද්‍යවරිය සඳහා අනුප්‍රාප්තිකයෙකු නොමැතිව ස්ථාන මාරුවක් ලබා දීමේ හැකියාවක් නොමැති බව ඔහු පැහැදිලි කළේය.

කෙසේ වෙතත්, ඉදිරි මාස කිහිපය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නව වෛද්‍යවරුන් බඳවා ගැනීමට නියමිත බවත්, එම බඳවා ගැනීම්වලින් පසුව මෙම වෛද්‍යවරියගේ ඉල්ලීම ඉටු කිරීමට අවස්ථාව සැලසෙනු ඇති බවත් වෛද්‍ය තලගල මහතා විශ්වාසය පළ කළේය. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මෙන්ම රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳවද සමබරව අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.