gossiplanka image 1

 කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර ඇත.කීරි සම්බා සහල් ප්‍රමාණවත් තරම් වෙළඳපොළේ නොමැති බවට ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරය විසින් කරනු ලැබූ කරුණු දැක්වීම පදනම් කර ගනිමින් මෙම නිර්දේශය නිකුත් කර ඇත.




මෙලෙස ආනයනය කෙරෙන සහල් මෙට්‍රික් ටොන් 5,000ක් රජයේ ආයතනවලින් ද සෙසු සහල් ප්‍රමාණය පෞද්ගලික අංශයෙන් ද ආනයනය කිරිමට තීරණය වී ඇත.

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම සඳහා වන ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දී මෙම තීරණයට එළැඹිණි. පුරවැසියන්ගේ ආහාර අවශ්‍යතාව සපුරාලීම මෙන්ම, දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතත්තා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.


ඒ අනුව, දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා කිරි සම්බා වී කිලෝවක් රුපියල් 120ක මිලකට වී අලෙවි මණ්ඩලයෙන් හා සහාස ආයතනයෙන් මිලදී ගැනීමේ කාර්යය අඛණ්ඩව පවත්වාගෙන යාමට ද තීරණය විය. ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිඟු ගබඩා කිරීමේ පහසුකම් ඇති කිරීම මෙන්ම, බියර් සහ සත්ව ආහාර නිෂ්පාදන සඳහා සහල් හෝ කැඩුණු සහල් හෝ විකල්ප අමුද්‍රව්‍ය ආනයනය කිරීම පිළිබඳව ද මෙහිදී කතිකාවට බඳුන් කෙරිණි. පාරිභෝගික අවශ්‍යතාවට අනුව බඩඉරිඟු නිෂ්පාදනය,

ටින් මාළු, බිත්තර සහ පාංශ නිෂ්පාදනය සහ ලුණු ආනයන කටයුතු පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

 

පොහොර ආනයනය, තොග පවත්වා ගැනීම, සැපයීම සහ බෙදාහැරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර යල කන්නය සඳහා පොහොර බෙදා දීමේ ප්‍රගතිය, ඔඩපන ණය නිකුත් කිරීමේ ප්‍රගතිය සහ යල කන්නයේ වගා කටයුතුවල සාර්ථකත්වය ද මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි.අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් පුතන්ත්‍රි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, අමාත්‍යාංශ ලේකම්වරුන්, මෙන්ම දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.