කොළඹ වාණිජ මහාධිකරණයේ පෙර නියෝගයකට අනුව, හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් සමාගම් තුනක දේපළ ලබන මස වෙන්දේසි කිරීමට නියමිතව ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ ණය ගිවිසුමක් යටතේ ලබාගත් රුපියල් මිලියන 104ක පමණ මුදලක් ගෙවීම පැහැර හැරීම හේතුවෙනි.
වාර්තා වන අන්දමට, එම වෙන්දේසිය 2025 ජුලි මස 02 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ පීපල්ස් ලීසිං සමාගම විසින් කොළඹ වාණිජ මහාධිකරණයේ ගොනු කළ නඩුවක තීන්දුවකට අනුවයි.
වෙන්දේසි කිරීමට නියමිත දේපළ අතර දයා ගෘප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝට් ප්‍රයිවට් ලිමිටඩ් සහ ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම්වලට අයත් දේපළ ඇතුළත් වේ.
වසර කිහිපයකට පෙර දයා ගමගේ මහතා විසින් පීපල්ස් ලීසිං සමාගමෙන් ලබාගත් ණය මුදල ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් එම සමාගම විසින් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණි. එම නඩුවේ අවසාන තීරණයට අනුව, ණය ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දයා ගමගේ මහතාට අයත් ඉහත සඳහන් සමාගම් තුනෙහි දේපළ වෙන්දේසි කිරීමට අධිකරණය අවසර ලබා දී ඇත.
මෙම වෙන්දේසියෙන් ලැබෙන මුදල්, දයා ගමගේ මහතා පීපල්ස් ලීසිං සමාගමට ගෙවිය යුතු ණය හා පොලී මුදල් පියවීමට යොදවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval