මෝටර් රථයක් පදවමින් සිටි කාන්තාවකගේ උකුළට ඇගේ දෙහැවිරිදි සිඟිති දියණිය පැනීමෙන් මෝටර් රිය පාලනයෙන් මිදී ත්‍රිරෝද රථයක සහ කුඩා ලොරි රථයක ගැටීමෙන් අයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි වාද්දුව පොලීසිය සඳහන් කරයි.
මෝටර් රථය පැදවූ කාන්තාව සිය දෙහැවිරිදි දියණිය සමඟ දේවස්ථානයට ගොස් දියණිය පසුපස අසුනේ හිඳුවා ගෙන නිවසට යෑම සඳහා කළුතර දෙස සිට පාණදුර දෙසට ගමන්කර ඇත. වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේදී දැරිය රියැදුරු අසුනට පැන ඇති බවත්,
ඒ අනුව එම රථය රියැදුරු අසුනේ සිටි මවගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් ඇති බවත් මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව ඇතැයි පොලීසිය කීය.
ඒ අනුව මෙම මෝටර් රථය මාර්ගයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක හා ඒ අසල සිටි පදිකයකුගේ ද ගැටී ඇත. එම ත්‍රිරෝද රථය අසල නවතා තිබූ කුඩා ලොරි රථයක ගැටී ඇති බව ද පරීක්ෂණ පවත්වන නිලධාරියෙක් කීය.
බරපතළ තුවාල ලබා සිටි තැනැත්තා පාණදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
අනතුරෙන් මියගොස් ඇත්තේ පදිකයකු බවත් ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරුව නොමැති බවත් පොලීසිය සඳහන් කරයි. මෝටර් රථය පැදවූ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, පාණදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විතානගේ මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් කහටපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන් උපුල් කුමාර (41133) සහ කොස්තාපල් ඩී. ජනක (23120) පරීක්ෂණ පවත්වති.
( සුමිත් ප්‍රේමතිලක)
Comments
Post a Comment
Your comment will be visible after approval