father-hits-son-on-the-head-with-a-stick-when-he-asks-if-he-will-come-back-after-tuition-starts

සිය 16 හැවිරිදි දරුවා උපකාරක පන්තියට ගොස් නැවැත නිවෙසට පැමිණීමෙන් පසු ඇයි තාත්තේ මාව එක්ක එන්න ආවේ නැත්තේ කියා ඇසුවාට උරණ වූ පියා එම දරුවාගේ හිසට පොල්ලකින් පහරදීමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට ඌරුබොක්ක පොලිසිය පවසයි.




බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ කිර්පිටිය, කෝන්ගහදෙණිය ප්‍රදේශයේ පදිංචි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින 16 හැවිරිදි පාසල් සිසුවකු බවට පොලිසිය පැවැසීය. පහර කෑමට ලක්වූ පාසල් සිසුවා පසුගිය 22 දින කොටපොළ ප්‍රදේශයේ පැවැති උපකාරක පන්තියකට සහභාගි වී ඇති අතර උපකාරක පන්තිය අවසන් වී ඔහු බස් රථයකින් කිරිලිපන නගරයට පැමිණ ඇත. 




එසේ උපකාරක පන්තියට සහභාගි වී පැමිණි දරුවා නිවෙසට රැගෙන යෑම සඳහා පියා පැමිණීමට ප්‍රමාද වීම නිසා දරුවා එම මාර්ගයේ ගමන් කරන හිතවත් අයකුගේ වාහනයක නැඟ නිවෙසට ගොස් ඇති බවට පොලිසිය පවසයි. දරුවා රාත්‍රි 8.30 පමණ නිවෙසට ගොස් ඇත. ඇයි මා එක්ක එන්න ආවේ නැත්තේ කියා ඇසුවැයි උරණ වූ පියා පොල්ලක් රැගෙන දරුවාට පහරදී ඇති බවත් එම පහරදීම වැළැක්වීමට උත්සාහ කළ මවටද පොලු පහරවල් දෙකක් වැදී ඇතැයි පොලිසිය කියයි. හිසට පොලු පහර වැදීමෙන් පසු දරුවා නිවෙසේ පිටුපස දොරෙන් පිටතට දිවගොස් බාප්පගේ නිවෙසට දිව යන අතරතුර මිදුලේ ඇද වැටී ඇත.

පසුව නිවැසියන් කෑ ගසා අවට අයත් සමඟ බිම ඇද වැටී සිහිසුන්ව සිටී දරුවා රෝහල්ගත කිරීම සඳහා 1990 සුවසැරිය ගිලන් රථයට දැන්වුවත් පැමිණීම ප්‍රමාද වීම නිසා යතුරුපැදියකින් දරුවා දෙණියාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලටත් ඉන්පසු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවත් මේ වන විට දරුවා එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පැවැසීය.


දරුවාට පොල්ලකින් පහරදී බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් දරුවාගේ පියා පොලිසිය මඟින් අත්අඩංගුවට ඇත. ඔහු 41 හැවිරිදි දෙදරු පියකු බවත් අත්අඩංගුවට ගත් පුද්ගලයා මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පැවැසීය.