
අනුරාධපුර මහාධිකරණයේ විනිසුරු ලක්මාලි හේවාවසම මෙනෙවියගේ නියෝගය පරිදි, ආබාධිත හමුදා කෝප්‍රල්වරුන් තිදෙනකු විසින් යුද හමුදා සැරයන් මේජර්වරයකුගේ බිරියක් සමූහ දූෂණය කිරීමට අදාළ නඩුව මෙම මස 23 වන දින යළි විභාගයට ගැනීමට නියමිතය.
උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරුවරිය විසින් මෙම අපරාධමය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ හොරොව්පාතාන පොලිසියේ නිලධාරීන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.
එසේම, නඩුවේ විත්තිකාර හිටපු ආබාධිත හමුදා කෝප්‍රල්වරුන් තිදෙනාටද මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.
පොලිස් විමර්ශනවලට අනුව, මෙම විත්තිකරුවන් 2013 වසරේ ජූලි මස 28 වැනි දින රාත්‍රියේ බීමත්ව යතුරුපැදිවලින් හොරොව්පාතාන, නබඩවැව ප්‍රදේශයට ගොස් අපරාධය සිදු කර ඇත. විත්තිකරුවන් එවකට නොච්චියාගම ළිඳවැව යුද හමුදා කඳවුරේ සක්‍රිය සේවයේ යෙදී සිටි බව අධිකරණයේදී අනාවරණය විය.
දූෂණයට ලක් වූ කාන්තාව 50 හැවිරිදි වන අතර, ඇය යුද හමුදාවේ සැරයන් මේජර්වරයකුගේ බිරිය මෙන්ම පුතුන් තිදෙනකුගේ මවකි. එම පුතුන්ගෙන් දෙදෙනකු යුද හමුදා සෙබළුන් වන අතර, අනෙක් පුතා ගුවන් හමුදා සෙබළකු බවද අධිකරණයේදී හෙළි විය.
විමර්ශනවලින් අනතුරුව, මෙම අපරාධය සිදු කළ බවට හෙළිකර ගැනීමෙන් පසු යුද හමුදාපතිවරයාගේ නියෝග මත විත්තිකරුවන් යුද හමුදාවේ සක්‍රිය සේවයෙන් නෙරපා හැර ඇත.
නඩුවේ සිවු වැනි විත්තිකරු ලෙස නම් කර සිටි හිටපු යුද හමුදා කෝප්‍රල්වරයකු වන බී. නිමලදාස රජයේ සාක්ෂිකරුවකු බවට පත් කර ඇත. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ මහේන් ද සිල්වා මහතා පෙනී සිටින අතර, විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා පෙනී සිටී.
මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වුණු අතර, විත්තිකරුවන්ට අධිචෝදනා භාරදීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමුකර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval