dont-you-know-who-i-am-kandy-mp-asks

 මහනුවර ජාතික රෝහල මැදින් වැටී ඇති මාර්ගය හරහා අනන්‍යතාව හෙළි නොකර සිය රථයෙන් යාමට පැමිණි මහනුවර දිස්ත්‍රික් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රෝහල් පරිශ්‍රයේ මාර්ගයට ඇතුළුවීමට රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරීන් අවසර නොදීමෙන් රෝහල් පරිශ්‍රයේ ඉකුත්දා දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇති විය.




මෙම අවස්ථාවේ මන්ත්‍රීවරයා තමන් කවුද කියා හඳුනන්නේ නැද්දැයි රෝහලේ ආරක්ෂක නිලධාරින්ගෙන් විමසූ විට, ආරක්ෂක නිලධාරින් එම තරුණ මන්ත්‍රීවරයා කවුදැයි නොහඳුනන බව පැවැසීම නිසා

රෝහල් පොලීසියේ නිලධාරින් ද එම ස්ථානයට කැඳවීමට සිදුවිය. පොලිස් නිලධාරින් ද මෙම තරුණ මන්ත්‍රීවරයා හඳුනා නොගැනීම නිසා එම ස්ථානයේ අර්බුදකාරි තත්වයක් ඇති වූ බව රෝහල් සේවකයෝ සහ රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරිහු ද පැවැසූහ.


මෙම තරුණ මන්ත්‍රීවරයා පැමිණි වාහනයේ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට හඳුනා ගැනීම සඳහා රාජ්‍ය ලාංඡනය හෝ වෙනත් හඳුනාගත හැකි ලාංඡනයක් ප්‍රදර්ශනය නොකිරීම නිසා රෝහලේ ආරක්ෂක නිලධාරින්ට සහ පොලිස් නිලධාරින්ට ද මන්ත්‍රීවරයා හඳුනා ගැනීම අපහසු විය.


කෙසේ වෙතත් මන්ත්‍රීවරයා සහ රෝහලේ ආරක්ෂකයන් අතර මෙහිදී උණුසුම් වචන හුවමාරුවක් ද ඇති විය. පසුව තරුණ මන්ත්‍රීවරයා මහනුවර උසස් පොලිස් නිලධාරියකුට සිද්ධිය දැනුම් දී ඇති බව මහනුවර පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.


මෙම සිද්ධිය ඉකුත් 24 වැනිදා දහවල් 11. 00ට පමණ සිදුවිය. තරුණ මන්ත්‍රීවරයා සමග උණුසුම් වචන හුවමාරුවක යෙදුණ පාර්ශ්වය ද එම මන්ත්‍රීවරයාට පැවැසූවේ

අපි මාලිමා ආණ්ඩුවට ඡන්දේ දීලා තමුන්නාන්සේලා පත්කර ගත්තේ පසුගිය ආණ්ඩුවේ අය වාගේ චණ්ඩිකම් දාපූ අය පත්කර ගැනීමට නොවන බවය.තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමන් කවුදැයි හඳුනාගත හැකි නිල ලාංචනයක් ඔහුගේ රථයේ ප්‍රදර්ශනය කර තිබුණා නම් රෝහල් පරිශ්‍රයට ඇතුළුවීමට කිසිදු බාධාවක් නොවන බව රෝහල් පාලනාධිකාරිය සහ ආරක්ෂක අංශය ද පැවසීය.
( ජේ.ඒ.එල්. ජයසිංහ)