ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලාවලින් එහි ආචාරිය මහාචාර්යවරුන් අනිසි ලෙස මුදල් උපයන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වර්තමාන රජය හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මැදිහත් වී නිසි විමර්ශනයක් කර විසඳුම් දෙන තෙක් එම බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා තාවකාලිකව අත්හිටුවන බව එම විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිය දඹර අමිල හිමියෝ පැවසූහ.
මෙරට හොඳම මූල්‍ය කළමනාකරණය පවත්වාගෙන යන විශ්වවිද්‍යාල අතරින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය රන් සම්මානය පවා දිනාගත් බවත් එවැනි විශ්වවිද්‍යාලයක බාහිර උපාධි පාඨමාලාවන්හි මූල්‍ය වංචා සිදු වන්නේය යන්න පැවසීම ඉතාමත් පදනම් විරහිත බවත් උන්වහන්සේ කියා සිටියහ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සන්ථාගාර පරිශ්‍රයේ පැවැති බාහිර උපාධි හා සම්බන්ධ ගැටලුව පිළිබඳ මාධ්‍ය හමුවේ දී ඊයේ (26) උන්වහන්සේ එසේ පැවසූහ.
පසුගිය දිනවල සමාජ මාධ්‍යයන්හි, ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒ සම්බන්ධයෙන් පැතිර ගිය පුවත් පදනම් විරහිත අසත්‍ය ඒවා බවද අමිල හිමියෝ කීහ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පවත්වාගෙන යන සියලුම බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා 932 විශ්ව විද්‍යාල චක්‍රලේඛය යටතේ ක්‍රියාත්මක වන බවද උන්වහන්සේ පැවසූහ. ඒ අනුව බාහිර උපාධියක් හැදෑරිම සඳහා එක් බාහිර ශිෂ්‍යයකුගෙන් අය කෙරෙන මුදල, එක් දේශනයක් සඳහා ආචාර්යවරයකුට ගෙවන මුදල හා ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවේදී එක් ප්‍රශ්න පත්‍රයකට ගෙවන මුදල යන මූල්‍යමය කාරණා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතියකින් යුතුව පවත්වාගෙන යන බවද උන්වහන්සේ කීහ.
රජය වාර්ෂිකව මෙරට ඕනෑම රජයේ විශ්වවිද්‍යාලයක කලා උපාධිය හදාරන එක් අභ්‍යන්තර ශිෂ්‍යයකු වෙනුවෙන් රුපියල් 3,52,000ක මුදලක් වැය කරන බවද අමිල හිමියෝ එහිදී සඳහන් කළහ. එහෙත් උසස් පෙළ සමත් ඕනෑම ශිෂ්‍යයකු විශ්වවිද්‍යාලයට යෑමට සුදුස්සකු වුවද
එම සියලුම දෙනා වෙනුවෙන් එවැනි මුදලක් වියදම් කිරීමට රජයට නොහැකි බවද උන්වහන්සේ පැවසූහ.
එහෙත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එක් බාහිර උපාධි අපේක්ෂකයකුගෙන් උපාධි ගාස්තු වශයෙන් රුපියල් 1,95,000ක මුදලක් අය කරගනිමින් රජයේ විශ්වවිද්‍යාලයකට යෑමට නොහැකි වූ ශිෂ්‍යයන්ට උපාධි ලබා ගැනීමේ අවස්ථා සලසමින් රජයට විශාල මූල්‍යමය සහනයක් සපයන බවද අමිල හිමියෝ කීහ. බාහිර උපාධි ශිෂ්‍යයන්ගෙන් අය කරගන්නා එම මුදල කිසිදු ආකාරයකින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පෞද්ගලික ගිණුම්වලට බැර නොවන බවත් ඒවා විශ්වවිද්‍යාලයේ ප්‍රාග්ධන හා මුදල් කමිටුවේ මනා අධික්ෂණය යටතේ විශ්වවිද්‍යාල මූල්‍යාධිකාරිය හරහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අරමුදලට එකතු වන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
මෙවැනි මූල්‍ය අධීක්ෂණ ක්‍රියාදාමයක් තිබියදී පවා අසත්‍ය චෝදනා නගමින් ඇතැම් පාර්ශ්ව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීම තමන් වහන්සේ ආචාර්යවරයකු වශයෙන් හෙළා දකින බවද අමිල හිමියෝ පැවසූහ. මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර සමාජීයවිද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතාද අදහස් දැක්වීය.
Comments
Post a Comment
Your comment will be visible after approval