ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාපිත සුනාමි ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනු ඒවායේ පවතින අවදානම් තත්ත්වය සලකා බලා ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය මඟින් ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට දැනුවත් කිරීමක් සිදු කළේය.
ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේය.2004 වර්ෂයේ ඇති වූ සුනාමි ව්‍යසනයෙන් ජනතාවගේ ජීවිත හා දේපොළ හානි අවම කර ගැනීමට නෙදර්ලන්ත |CET ආයතනය හා ලංකාවේ Foresight ආයතනය එක්ව දිවයිනම ආවරණය වන පරිදි අනතුරු ඇඟවීමේ කුලුනු 77ක් පමණ ස්ථාපනය කර ඇත. මෙම කුලුනු 8ක් ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාපනය කර ඇති අතර අනතුරුදායක තත්ත්වය හමුවේ ඉන් එක කුලුනක් ඉවත් කළත් දැනට කුලුනු 7ක් ඉතිරිව පවතී.
නමුත් චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණය හමුවේ ක්‍රියාත්මක වූ මෙම කුලුනුවලට තාක්ෂණික හේතුවක් මත සම්බන්ධතාව ලබාදිය නොහැකි බැවින් ඒවා මත වන අවදානම සලකා කුලුනු ඉවත් කිර්මට කටයුතු කළ යුතු බව මෙහිදී තවදුරටත් අනාවරණය කෙරිණි. ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළ බඩ තීරයේ මෙම කුලුනු ස්ථාපනය කර ඇති අතර අවදානම හමුවේ අහංගම ශාරිපුත්‍ර විද්‍යාලයේ සවිකළ කුලුන උඩ කොටස ගලවා ඉවත් කර ඇත.
දැනට කඩවත් සතර විද්‍යාලෝක විද්‍යාලය, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය, හබරාදුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව උණවටුන, රත්ගම රත්න දීපාරාමය, මාදම්පාගම තෙල්වත්ත රජමහා විහාරය, බළපිටිය ශ්‍රී විජයාරාම විහාරස්ථානය, හික්කඩුව ට්‍රාන්ස් හෝටලය තුළ කුලුනු දක්නට ලැබේ. ඒවා මෙහි අවදානම පිළිබඳ සලකා බලා ප්‍රමුඛතාවය අනුව රත්ගම, හික්කඩුව, අම්බලන්ගොඩ හා කඩවත්සතර කුලුනු ඉක්මනින් ඉවත් කිරීමට තීරණය කෙරිණි.